• Increase font size
  • Default font size
  • Decrease font size

2023-11-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
පොලිඑතිලීන් ටෙරෙෆ්තලේට් (PET) සහ හයි ඉම්පැක්ට් පොලිස්ටිරින් (HIPS) ප්ලාස්ටික් ඇසුරුම් සඳහා QR කේතයක් පදනම් කර ගත් තැන්පතු ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා කැඳවීම
- ප්ලාස්ටික ඇසුරුම් වශයෙන් පාවිච්චි කරනු ලබන පොලිඑතිලීන් ටෙරෙෆ්තලේට් (PET) බෝතල් සහ හයි ඉම්පැක්ට් පොලිස්ටිරින් (HIPS) කෝප්ප සහ අනෙකුත් ප්ලාස්ටික් බහාලුම් බොහෝ විට එක් වරක් පමණක් භාවිත කර පරිසරයට බැහැර කරනු ලබයි. එවැනි අපද්‍රව්‍ය බැහැර කිරීමේදී ඇතැම් පාරිභෝගිකයින් විසින් වගකීම් විරහිතව කටයුතු කිරීමත්, කාර්යක්ෂම එකතු කිරීමේ ක්‍රමවේදයක් නොමැති වීමත් හේතුවෙන් එකී ප්ලාස්ටික් අපද්‍රව්‍ය සංවේදී පරිසර පද්ධතින්ට ඇතුළුව බාහිර පරිසරයට එකතු වෙමින් පවතී. එම තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් ශ්‍රී ලංකාව තුළ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සඳහා නියමු ව්‍යාපෘති 02ක් ක්‍රියාත්මක කර ඇත. නියමු ව්‍යාපෘති දෙකෙහි ප්‍රතිඵල මත හිස් බහාලුම් නැවත එකතු කර ගැනීමේදී තාවකාලික තැන්පතුව ආපසු ගෙවීමේ ක්‍රමවේදය යෝග්‍ය බවට හඳුනාගෙන තිබේ. එම ක්‍රමවේදය යටතේ පාරිභෝගිකයා විසින් අදාළ භාණ්ඩය මිල දී ගන්නා අවස්ථාවේදී විකුණුම්කරු තාවකාලික මුදල් තැන්පතුවක් ලබා ගන්නා අතර, හිස් බෝතලය/ඇසුරුම් ආපසු ලබා දුන් විට තාවකාලික තැන්පතුව පාරිභෝගිකයා වෙත ආපසු ලබා දීමට පියවර ගනු ලබයි. මෙම ක්‍රමවේදය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා QR කේත පද්ධතියක් හඳුන්වා දීම යෝග්‍ය බවට හඳුනාගෙන ඇත. ඒ සඳහා සුදුසු ආයතන වෙතින් යෝජනා කැඳවීම සහ තෝරාගනු ලබන ආයතනය මඟින් QR කේතයක් පදනම් කර ගත් තැන්පතු ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම පිණිස පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.