• Increase font size
  • Default font size
  • Decrease font size

2023-11-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
දකුණු ආසියානු සුදුසුකම් නිර්දේශන රාමුව ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීම
- කලාපීය රටවල් අතර සහයෝගීතාව පුළුල් කිරීම සම්බන්ධයෙන් ප්‍රමුඛ අවධානයක් 2014 වර්ෂයේදී නේපාලයේ කත්මන්ඩු නුවර පැවති සාර්ක් රාජ්‍ය නායකයින්ගේ 18 වැනි රැස්වීම් වාරයේදී යොමු වූ අතර, එය දකුණු ආසියානු සුදුසුකම් නිර්දේශන රාමුව බිහිවීමෙහිලා මූලික අඩිතාලම සපයා ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙන්ම ශ්‍රම බලකායේ නිපුණතාවන් හඳුනාගැනීම සඳහා දකුණු ආසියානු සුදුසුකම් නිර්දේශන රාමුව කෙටුම්පත් කිරීම ලෝක කම්කරු සංවිධානයේ මැදිහත්වීම මත 2020 වර්ෂයේදී ආරම්භ කර තිබේ. ඒ සඳහා වන තාක්ෂණික කමිටු රැස්වීම්වලට ශ්‍රී ලංකාවේ සහභාගිත්වය ලබා දී ඇති අතර, ශ්‍රී ලංකාව ද ඇතුළුව සාමාජික රටවල අධ්‍යාපන විෂය භාර අමාත්‍යංශ විසින්, කෙටුම්පත් කරනු ලැබ ඇති දකුණු ආසියානු සුදුසුකම් නිර්දේශන රාමුව සඳහා එකඟතාව පළ කර ඇත. මෙම දකුණු ආසියානු සුදුසුකම් නිර්දේශන රාමුව තුළින් එක් එක් සාමාජික රටවල සුදුසුකම් රාමු සඳහා කිසිදු නෛතික බැඳීමක් සිදු නොවන අතර, කලාපයේ අනෙකුත් රටවල සුදුසුකම් රාමු වෙත යොමු කෙරෙන සබැඳියක් ලෙස ක්‍රියාත්මක වීම සිදු වේ. දකුණු ආසියානු සුදුසුකම් නිර්දේශන රාමුව ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිර්දේශය සහ නීතිපතිගේ නිෂ්කාශනය ලබා දී ඇත. ඒ අනුව, අධ්‍යාපන අමාත්‍යාංශය සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය එක්ව දකුණු ආසියානු සුදුසුකම් නිර්දේශන රාමුව ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.