• Increase font size
  • Default font size
  • Decrease font size

2023-11-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ජාත්‍යන්තර සාධාරණ වෙළෙඳ ජාලයන් (International Fair Trade Networks) අතර සහයෝගීතා රාමුවකට අත්සන් තැබීම
- ජාත්‍යන්තර සාධාරණ වෙළෙඳ ජාලයන් (International Fair Trade Networks) යනු ප්‍රමිතීන්, සහතික කිරීම, නිෂ්පාදක සහාය වැඩසටහන් සහ උපදේශනය හරහා ප්‍රතිලාභ සමානව බෙදාහරින ගෝලීය ජාලයක් වේ. ජාත්‍යන්තර වශයෙන් වෙළෙඳ කටයුතුවල නිරත ආයතන ගණනාවක් එම ජාත්‍යන්තර සාධාරණ වෙළෙඳ ජාලයේ හවුල්කරුවන් වශයෙන් කටයුතු කරනු ලබයි. යුරෝපා සංගමයේ "සාධාරණ වෙ‌ළෙඳාම" සහ "වෙළෙඳ යුක්තිය"ට සහාය දක්වන ප්‍රතිපත්ති සඳහා උපදේශනය ලබා දීම සහ යුරෝපා සංගමයේ ආයතන සමඟ අන්තර් ක්‍රියා කිරීමට හා අඛණ්ඩ සංවාදයක් පවත්වාගෙන යාම සඳහා එම ආයතනයට හැකියාව පවතී. ශ්‍රී ලංකාව තුළ "සාධාරණ වෙළෙඳාම සංකල්පය" ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර සාධාරණ වෙළෙඳ ජාලයේ හවුල්කරුවන් සමඟ එක්ව ක්‍රියාකාරී සැලැස්මක් සැකසීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය යෝජනා කර ඇත. ඒ අනුව, ජාත්‍යන්තර සාධාරණ වෙළෙඳ ජාලයන් සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව ඉහළ නැංවීමේ අරමුණින් "සහයෝගීතා රාමුවකට" අත්සන් තැබීම පිණිස ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමා වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.