• Increase font size
  • Default font size
  • Decrease font size

2023-11-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)
(235 වන අධිකාරය වන) රේගු ආඥාපනත සඳහා යෝජිත සංශෝධන
- ආදායම් රැස් කිරීම, විනිවිදභාවය, වෙළෙඳාම සඳහා පහසුකම් සැලසීම සහ අනුකූලතා අවශ්‍යතා වැනි කරුණු සම්බන්ධයෙන් (235 වන අධිකාරය වන) රේගු ආඥාපනතේ 47, 57 සහ 153 වගන්තීන් සංශෝධනය කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව සඳහා 2022-10-03 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එසේම, ශ්‍රී ලංකාව රේගුව විසින් රඳවා ගනු ලැබ ඇති භාණ්ඩ නිදහස් කිරීමට අදාළව පවතින ගැටලු අධ්‍යයනය කර වාර්තා කිරීම සඳහා ගරු වරාය, නාවික හා ගුවන් සේවා ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද අමාත්‍ය කමිටුව විසින් ඉදිරිපත් කර තිබූ නිර්දේශ සැලකිල්ලට ගනිමින් රේගු ආඥාපනතේ අදාළ විධිවිධාන සංශෝධනය කිරීම පිණිස 2023-09-04 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, යෝජිත සංශෝධනයන්ට අදාළව රේගු ආඥාපනත සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.