• Increase font size
  • Default font size
  • Decrease font size

2023-10-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සමනල වැව ජලාශයේ ජල මතුපිට පාවෙන සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා බලාගාරයක් ඉදිකිරීම
- පාවෙන සූර්ය බලාගාර ඉදි කිරීම මගින් ජලාශ මතුපිට සූර්ය බලශක්තිය උත්පාදනය කිරීම සීමිත ඉඩම් සහිත රටවල් සඳහා වඩාත් සුදුසු විකල්පයක් වශයෙන් පිළිගනු ලැබ ඇත. ඒ අනුව, ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පවතින ජලාශවල මතුපිට සූර්ය බලශක්තිය ජනන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මනා විභවයක් පවතින බවට හඳුනාගෙන ඇති අතර, ලංකා විදුලිබල මණ්ඩලය යටතේ පවතින සමනල වැව ජලාශයේ දළ වශයෙන් හෙක්ටයාර 100ක ජල මතුපිට අවකාශය මෙගාවොට් 150-200ක පමණ පාවෙන සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා බලාගාරයක් ඉදිකිරීම සඳහා යොදා ගැනීමේ හැකියාව පවතින බව තහවුරු වී තිබේ. ඒ අනුව, යටිතල පහසුකම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අදාළ වන ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් උනන්දුවක් දක්වන ව්‍යාපෘති යෝජකයින් වෙතින් යෝජිත සූර්ය බලාගාරය ඉදිකර ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා කැඳවීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.