• Increase font size
  • Default font size
  • Decrease font size

2023-10-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඇටෝර්නි බලපත්‍ර ආඥාපනත සඳහා සංශෝධන
- ඇටෝර්නි බලපත්‍රලාභීන් විසින් ඉඩම් සම්බන්ධයෙන් සිදු කරනු ලබන වංචනික ක්‍රියා වැළැක්වීමේ අරමුණින්, 2022 අංක 28 දරන පනත මගින් ඇටෝර්නි බලපත්‍ර ආඥාපනත සංශෝධනය කිරීම පිණිස පියවර ගනු ලැබ ඇත. එකී සංශෝධන බලාත්මක කිරීමෙන් අනතුරුව, විශේෂයෙන්ම විදේශීය ඇටෝර්නි බලපත්‍ර, ඇටෝර්නි බලපත්‍ර අවලංගු කිරීම හා අහෝසි කිරීම සහ අදාළ සංශෝධන බලාත්මක කිරීමට පෙර සකස් කර තිබූ ඇටෝර්නි බලපත්‍රයක් ලියාපදිංචි කිරීමට ලබා දී තිබූ කාලපරිච්ඡේදය වැනි කරුණු ආශ්‍රිතව නීතිමය සංකූලතා ගණනාවක් පැන නැගී තිබේ. එබැවින්, තවදුරටත් ඇටෝර්නි බලපත්‍ර ආඥාපනත සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා 2023-05-08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. එකී අනුමැතිය පරිදි නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී ඇත. ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.