• Increase font size
  • Default font size
  • Decrease font size

2023-10-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ස්වාධීන පාර්ලිමේන්තු ප්‍රමිති අධිකාරියක් ස්ථාපිත කිරීම
- පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගවීම, විශ්වාසනීයත්වය, පැහැදිලිභාවය සහ වෘත්තීයභාවය පිළිබඳව සහතික වීම ව්‍යවස්ථාදායකයේ සඵලත්වය, විනිවිදභාවය සහ සාධාරණත්වය පිළිබඳව මහජන විශ්වාසය ඉහළ නැංවීම සඳහා අත්‍යවශ්‍ය සාධකයන් වේ. එබැවින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සෑම අවස්ථාවකදීම තම බලතල, වරප්‍රසාද, කාර්යයන් සහ කර්තව්‍යයන් විශ්වාසවන්තභාවයෙන් සහ අවංකභාවයෙන් යුතුව ක්‍රියාවේ යෙදවිය යුතුව ඇත. ලෝකයේ බොහෝ රටවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ චර්යාධර්ම පද්ධතියක් ක්‍රියාත්මක කිරීම සඳහා සහ එම කටයුතු අධීක්ෂණය කිරීම සඳහා යාන්ත්‍රණයක් පවතින බව සැලකිල්ලට ගනිමින් මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ද චර්යාධර්ම සංග්‍රහයක් සම්පාදනය කිරීම සහ ඒ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ස්වාධීන ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාව හඳුනා‌ගෙන තිබේ. ඒ අනුව, එම කාර්යය සඳහා සකස් කරනු ලැබ ඇති මූලික කෙටුම්පත පිළිබඳව පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමාගේ සහ සියලුම පක්ෂ නායකයින්ගේ අදහස් ලබා ගැනිමටත්, ඉන් අනතුරුව එකී අදහස් ද සැලකිල්ලට ගනිමින් පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් ගරු අග්‍රාමාත්‍යතුමා සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.