• Increase font size
  • Default font size
  • Decrease font size

2023-10-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාරය සහ නෙදර්ලන්ත ජාතික ලේඛනාගාරය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
- ආසියානු ඉතිහාසය සහ ලෝක ඉතිහාසය යන දෙඅංශයේම අධ්‍යයනය සඳහා වැදගත් බව පිළිගනිමින් යුනෙස්කෝ ආයතනය විසින් ලෝක ස්මරණ පිළිබඳ ලේඛනයට ඇතුළත් කරනු ලැබ ඇති, ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම විසින් නිර්මාණය කරන ලද දළ වශයෙන් වෙළුම් 7,500කින් පමණ යුතු අධිලේඛන දික් මීටර 310ක් පමණ ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාර භාරකාරිත්වය යටතේ පවතී. වර්ෂ 2001 සිට 2013 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාරය හා නෙදර්ලන්ත ජාතික ලේඛනාගාරය අතර ඇති කර ගනු ලැබ ඇති ඒකාබද්ධ ගිවිසුම් 04ක් යටතේ වෙළුම් 5,066ක සූක්ෂම චිත්‍රපටවල ඍණ පිටපත් 1,701ක් නෙදර්ලන්තය වෙත යවා ඇති අතර, ඒවායින් නිර්මාණය කරන ලද සූක්ෂම චිත්‍රපට ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාරය විසින් මේ වන විට සංරක්ෂණය කරනු ලැබ තිබේ. මෙම සහයෝගිතාව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා 2024 සිට 2028 දක්වා වන වසර 05ක කාලයක් වෙනුවෙන් දෙපාර්ශ්වය අතර අධිලේඛන පිළිබඳ සහයෝගිතාව සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනා වී ඇත. ඒ අනුව, නෙදර්ලන්තයේ ජාතික ලේඛනාගාරය සහ ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාරය අතර අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.