• Increase font size
  • Default font size
  • Decrease font size

2023-10-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අධ්‍යාපන අමාත්‍යාංශය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පීස් කෝප් (Peace Corps) ආයතනය අතර දැනට පවතින අවබෝධතා ගිවිසුම දීර්ඝ කිරීම
- එක්සත් ජනපද කොංග්‍රසයේ සහයෝගය ලැබෙන පීස් කෝප් (Peace Corps) ආයතනයේ වැඩසටහන් 1962 - 1964, 1983 - 1998, 2004 - 2006 කාලපරිච්ඡේදයන් තුළ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වී ඇත. 2018 වර්ෂයේදී අධ්‍යාපන අමාත්‍යාංශය සහ පීස් කෝප් ආයතනය අතර අත්සන් තබා ඇති අවබෝධතා ගිවිසුමක් අනුව, වසර පහක (05) කාලසීමාවක් සඳහා ස්වේච්ඡා සේවකයන් ලබා දීම මඟින්, මෙරට තුළ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස දෙපාර්ශ්වය අතර එකඟතාවකට එළඹ ඇත. එහෙත්, පාස්කු ඉරිදා ප්‍රහාරය සහ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සැලසුම් කළ පරිදි අපේක්ෂිත කාලය තුළ එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පීස් කෝප් ආයතනයට නොහැකි වී තිබේ. එකී වැඩසටහන නැවත මෙරට තුළ ක්‍රියාත්මක කිරීම පිණිස පීස් කෝප් ආයතනය මේ වන විට එකඟතාව පළ කර ඇති බැවින්, ඒ සඳහා දෙපාර්ශ්වය අතර අත්සන් තබා ඇති අදාළ අවබෝධතා ගිවිසුම 2023 වර්ෂයේ අගෝස්තු මස සිට තවත් වසර 05ක කාලසීමාවක් සඳහා දීර්ඝ කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.