• Increase font size
  • Default font size
  • Decrease font size

2023-10-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජලාශවලට මත්ස්‍ය පැටවුන් මුදා හැරීම මඟින් මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය වැඩි කිරීම
- මිරිදිය ධීවර හා ජලජීවී වගා අංශය ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ආර්ථිකය තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය ඉහළ නැංවීම සහ රැකියා/ජීවනෝපාය අවස්ථා සැලසීම සඳහා ඉහළ දායකත්වයක් දක්වයි. මෙරට ජලාශවල ඉහළ වර්ධනයක් සහිත ආර්ථික වශයෙන් ඵලදායී මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනයක් සිදු කිරීම සඳහා වාර්ෂිකව මත්ස්‍ය පැටවුන් මිලියන 500ක් පමණ නොකඩවා තැන්පත් කළ යුතු වේ. එහෙත්, මත්ස්‍ය පැටවුන් ප්‍රමාණවත් පරිදි තැන්පත් කිරීම සිදු නොවීම හේතුවෙන් වගා පාදක ධීවර කර්මාන්තය සඳහා පවතින ජලාශවල විභවතාව පූර්ණ වශයෙන් භාවිත කිරීමට මෙතෙක් නොහැකි වී ඇත. 2023 වර්ෂයේ මත්ස්‍ය පැටවුන් මිලියන 230ක් සහ ඉස්සන් පසු කීටයන් මිලියන 80ක් ජලාශවල තැන්පත් කිරීමට මූලිකව සැලසුම් කර තිබූ නමුත් පසුගිය කාලයේ පැවති වියළි කාලගුණික තත්ත්වය මත ජලාශ සිඳී යාම හේතුවෙන් එම සැලැස්ම වෙනස් කිරීමට සිදු වී ඇත. ඒ අනුව, එකී සැලැස්ම සංශෝධනය කරමින් මෙම වර්ෂයේ ඉතිරි කාලසීමාව තුළ මත්ස්‍ය පැටවුන් මිලියන 100ක් සහ මිරිදිය ඉස්සන් පසු කීටයන් මිලියන 50ක් පමණ නිෂ්පාදනය කර ජලාශ වෙත මුදා හැරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අයවැය ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස ධීවර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගනිමින් 2023 වර්ෂය සඳහා එම කාර්යයන් වෙනුවෙන් රුපියල් මිලියන 100ක අතිරේක ප්‍රතිපාදන සලසා දීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.