• Increase font size
  • Default font size
  • Decrease font size

2023-10-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ආරක්ෂාව සඳහා බලපානු ලබන රසායනික ද්‍රව්‍ය නියාමනය කිරීම
- කාර්මික, කෘෂිකාර්මික, වෛද්‍ය සහ පර්යේෂණ කටයුතු වැනි සාමකාමී කාර්යයන් සඳහා විවිධ රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මෙරට තුළ භාවිතා කරනු ලබයි. ඒ අතුරින් නයිට්‍රික් අම්ලය, ක්ලෝරීන්, හයිඩ්‍රජන් ෆෙරොක්සයිඩ්, පොටෑසියම් සයනයිඩ්, සෝඩියම් සයනයිඩ්, නයිට්‍රොමෙතේන් සහ සෝඩියම් ඒසයිඩ් වැනි රසායනික ද්‍රව්‍ය සාමකාමී භාවිතයට මෙන්ම නීත්‍යානුකූල නොවන කටයුතු සඳහා ද යොදා ගත හැකි ද්විත්ව භාවිත ස්වභාවයෙන් යුක්ත බව නිරීක්ෂණය වී ඇත. කිරි, බීම වර්ග, තෙල් ආශ්‍රිත කර්මාන්ත, ජලය පිරිසිදු කිරීම වැනි විවිධ කර්මාන්ත රාශියක් සඳහා භාවිත කරන එම රසායනික ද්‍රව්‍ය ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අනර්ථකාරී කාර්යයන් සඳහා ද භාවිත කිරීමේ අවදානමක් පවතින බව හඳුනාගෙන තිබේ. එබැවින්, එවැනි රසායනික ද්‍රව්‍ය අවභාවිත කිරීම වැළැක්වීම සඳහා ඒවා නියාමනය කිරීමට නීතිමය විධිවිධාන පැනවීමටත්, එකී නියාමන කාර්යභාරය රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරිය වෙත පැවරීමටත් ආරක්ෂක අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.