• Increase font size
  • Default font size
  • Decrease font size

2023-09-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් තීරු බදු රහිත පදනමින් නැවත ආරෝපණය කළ හැකි විදුලි වාහන ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම
- "දැනට පවත්නා ආයෝජන මණ්ඩල සමාගම් ප්‍රති-ආයෝජනය සඳහා වූ ආයෝජකයන් රඳවා ගැනීමේ හා ව්‍යාප්ත කිරීමේ වැඩසටහන" සහ "ආයෝජන මණ්ඩලයේ තොරතුරු තාක්ෂණ/තොරතුරු තාක්ෂණයෙන් බලගැන්වුණු සේවා සමාගම් 100 වැඩසටහන" යන වැඩසටහන් යටතේ ආයෝජන ආකර්ෂණය කර ගැනීම පිණිස පහත දැක්වෙන සුදුසුකම් ලැබීමේ නිර්ණායක සම්පූර්ණ කළ ව්‍යාපෘතිවලට, රක්ෂණ සහ නැව් ගාස්තු සහිත වටිනාකම ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් 30,000 නොඉක්ම වූ නැවත ආරෝපණය කළ හැකි නව විදුලි වාහනයක් රේගු ගාස්තු නිදහස් පදනම මත ආනයනය කිරීමට අවසර ලබා දීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

I. දැනට පවත්නා ආයෝජන මණ්ඩල සමාගම් ප්‍රති-ආයෝජනය සඳහා වූ ආයෝජකයන් රඳවා ගැනීමේ හා ව්‍යාප්ත කිරීමේ වැඩසටහන:
* අදාළ සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ 17 වන වගන්තිය යටතේ ලියාපදිංචිව වසර 05කට නොඅඩු කාලයක් තුළ ක්‍රියාත්මකව පැවතීම.
* ව්‍යාපාරය පුළුල් කිරීම සඳහා යෝජිත අවම ආයෝජනය ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 3ක් වීම.
* යෝජිත ව්‍යාපාරය පුළුල් කිරීමේ වැඩසටහන යටතේ අවම වශයෙන් රැකියා අවස්ථා 50ක් ඇති කිරීම.

II. ආයෝජන මණ්ඩලයේ තොරතුරු තාක්ෂණ/තොරතුරු තාක්ෂණයෙන් බලගැන්වුණු සේවා සමාගම් 100 වැඩසටහන:
* ව්‍යාපාරයක් විසින් නව දේශීය රැකියා අවස්ථාවන් 50ක් ජනනය කළ යුතු අතර, ඒ අතුරින් සේවකයින් 15 දෙනෙකු තාක්ෂණික වශයෙන් සුදුසුකම් ලබා තිබීම.
* අවම ආයෝජනය ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් 250,000ක් වීම.