• Increase font size
  • Default font size
  • Decrease font size

2023-09-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කිලිනොච්චි පූනකරි වැවෙහි සූර්ය බලශක්ති / බැටරි ගබඩා කිරීමේ ව්‍යාපෘතියක් සඳහා වන ආයෝජන යෝජනාව
- රට තුළ කඩිනම් පුනර්ජනනීය බලශක්ති සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සහාය වීම පිණිස මෙගාවොට් 50 හෝ ඊට වැඩි ධාරිතාවක් සහිත පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සංවර්ධනය කිරීම සඳහා අපේක්ෂිත ආයෝජකයින්ගෙන් අභිප්‍රාය පළ කිරීමේ යෝජනා කැඳවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, මෙගාවොට් 134ක විදුලිබල සැපයුමක් ලබා දීමට හැකි වන පරිදි කිලිනොච්චිය පූනකරි වැවෙහි බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් සහිත මෙගාවොට් 700ක සූර්ය බලාගාරයක් සංවර්ධනය කිරීම පිණිස වන යෝජනාවක් යුනයිටඩ් සෝලා එනර්ජි එස් එල් පෞද්ගලික සමාගම විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත. ඇමෙරිකානු ඩොලර් මිලියන 1,727ක සමස්ත ආයෝජනයක් සහිතව සහ 100%ක සෘජු විදේශ ආයෝජනයක් වශයෙන් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති අතර, ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් දේශීය ව්‍යාපෘති සංරචක සඳහා යෙදවීමට වෙන් කරනු ඇත. යෝජිත ව්‍යාපෘතියෙහි කොටසක් වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 13.5ක පිරිවැයක් යටතේ මුහුදු ජලය ඇතුළුවීම වැළැක්වීම සඳහා පූනකරි වැව වටා අමුණු 03ක් ඉදි කර එම වැව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ව්‍යාපෘති යෝජක සමාගම විසින් යෝජනා කරනු ලැබ ඇත. ඒ වෙනුවට එම වැවේ නොගැඹුරු ප්‍රදේශයෙන් අක්කර 1,080ක් මෙගාවොට් 700ක සූර්ය බලාගාරය ස්ථාපිත කිරීම සඳහා වසර 35ක බදු ගිවිසුමක් මත එම සමාගම වෙත ලබා දීමට දැනටමත් උතුරු පළාත් සභාව, උතුරු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව එකඟතාව පළ කර ඇත. ඒ අනුව, යුනයිටඩ් සෝලාර් එනර්ජි එස් එල් පෞද්ගලික සමාගම විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ව්‍යාපෘති යෝජනාව ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගැනීමටත්, එකී යෝජනාව ඇගයීමට ලක් කර නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් පත් කිරීමටත් විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.