• Increase font size
  • Default font size
  • Decrease font size

2023-09-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත
- ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත අහෝසි කරමින් ත්‍රස්ත විරෝධී පනත හඳුන්වා දීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා 2022-09-05 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන ලද අතර ඒ අනුව, එකී පනත් කෙටුම්පත 2023-03-22 දින රජයේ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ තිබේ. ඉන් අනතුරුව, උනන්දුවක් දක්වන පාර්ශ්වයන් (දේශීය හා අන්තර්ජාතික) ගණනාවක් විසින් එම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරනු ලැබ ඇත. ඒ අනුව, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් ඉලෙක්ට්‍රොනික සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගෙන් විධිමත් පරිදි අදහස් හා යෝජනා කැඳවා ඇති අතර, ඇතැම් පාර්ශ්වයන් සමඟ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමතිතුමා විසින් සාකච්ඡා පවත්වනු ලැබ තිබේ. ඒ අනුව, ඉදිරිපත් කරනු ලැබ ඇති සියලු අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් රජයේ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ ඇති මුල් පනත් කෙටුම්පත නැවත සංශෝධනය කර නව පනත් කෙටුම්පතක් නීති කෙටුම්පත් සම්පාදක මඟින් පිළියෙල කිරීමට අවශ්‍ය පියවර ගනු ලැබ ඇත. එකී නව පනත් කෙටුම්පත සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී තිබේ. ඒ අනුව, එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.