• Increase font size
  • Default font size
  • Decrease font size

2023-09-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු මුතුරාජවෙල පිහිටි ඉඩම් කොටස් කිහිපයක පරවශ්‍යතා අයිතිය ලංකා විදුලිබල මණ්ඩලයේ භූගත නළ පද්ධතියක් එලීම සඳහා බදු දීම
- ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු මුතුරාජවෙල පිහිටි අක්කර 69ක් වූ ඉඩම් කොටසක් 1997 වර්ෂයේදී ලංකා විදුලිබල මණ්ඩලය වෙත විකිණීමෙන් බැහැර කර ඇති අතර, ඉන් කොටසක යුගදනවි බලාගාරය ඉදි කර තිබේ. එම ඉඩමේ ඉතිරි කොටසේ මේ වන විට සොබදනවි නව විදුලි බලාගාරය ඉදි වෙමින් පවතී. එම ඉන්ධන බලාගාර සඳහා භූගත සිසිලන නළ මාර්ග සහ භූගත ඉන්ධන නළ මාර්ග ඉදි කිරීමේ අවශ්‍යතාවන් හඳුනාගෙන ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු මුතුරාජවෙල පිහිටි තවත් ඉඩම් කොටස් කිහිපයක් හඳුනාගෙන ඇති අතර, එකී ඉඩම් කොටස්වල පරවශ්‍යතා අයිතිය උප කල්බදු ලබා දීමේ අයිතිය ද සහිතව ලංකා විදුලිබල මණ්ඩලය වෙත බදු පදනම මත ලබා දීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.