• Increase font size
  • Default font size
  • Decrease font size

2023-09-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන්හි 2023 දෙවන කාර්තුව අවසන් වන විට ප්‍රගතිය
- රේඛීය අමාත්‍යාංශ මඟින් ක්‍රියාත්මක කරනු ලබන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන් 202ක 2023 දෙවන කාර්තුව අවසන් වන විට අත්කර ගනු ලැබ ඇති ප්‍රගතිය පිළිබඳව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලන ලදී. දැනට ආරම්භ කර ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් වන තෙක් විදේශීය අරමුදල් මත ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතීන්ට අදාළ අරමුදල් උපයෝජනය කළ නොහැකි වීම සහ දේශීය අරමුදල් නිදහස් කිරීම සීමිත වීම හේතු කොට ගෙන 2023 දෙවන කාර්තුව අවසන් වන විට ව්‍යාපෘති බොහොමයක ප්‍රගතිය අපේක්ෂිත මට්ටමට වඩා පහළ මට්ටමක පවතින බව අමාත්‍ය මණ්ඩලය සැලකිල්ලට ගන්නා ලදී. ඒ අනුව, ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් වීමෙන් අනතුරුව විදේශීය අරමුදල් උපයෝජනය කිරීමට හැකියාව ලැබෙන තෙක් දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘති අතුරින් රජයේ 2048 සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට සහ දැනට පවතින ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස දායකත්වය ලබා දිය හැකි ව්‍යාපෘති සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් 2024 වර්ෂයේදී අයවැය ප්‍රතිපාදන වෙන් කර දීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.