• Increase font size
  • Default font size
  • Decrease font size

2023-09-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජල කළමනාකරණ අවශ්‍යතාව හදිසි තත්ත්වයක් ලෙස සලකා ඒකාබද්ධ ප්‍රවේශයක් යටතේ කටයුතු කිරීම
- පසුගිය දිනවල පැවති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 17කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 70ක පදිංචි පවුල් 84,000කට පමණ පානීය ජල හිඟයකට මුහුණපෑමට සිදුව ඇති බව ජාතික ආපදා සහන මධ්‍යස්ථානය විසින් 2023-08-22 දින ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති වාර්තාවක් මඟින් පෙන්වා දී ඇත. එම තත්ත්වය යටතේ රට තුළ පිහිටි ජලාශ පද්ධතිවල ප්‍රමාණවත් ජල ධාරිතාවක් එක් රැස්වන තෙක් දැනට පවතින සීමිත ජල ධාරිතාවන් ප්‍රශස්ත අයුරින් පරිහරණය කිරීම සහ කළමනාකරණය කිරීම කළ යුතුව තිබේ. අමාත්‍ය මණ්ඩලය විසින් 2023-07-10 දින අනුමත කරන ලද ජාතික ජල සම්පත් ප්‍රතිපත්තියට අනුව පානීය ජලය සැපයීමට ප්‍රමුඛතාවක් ලබා දිය යුතු අතර, අනෙකුත් ජල පාර්ශ්වකරුවන් ආරක්ෂා කිරීමට ද රජය බැඳී සිටී. ඒ අනුව, ප්‍රමාණවත් වර්ෂාපතනයක් ලැබෙන තෙක් පානීය ජලය සම්පාදනය හදිසි හා ප්‍රමුඛතම අවශ්‍යතාවයක් ලෙස සලකා කටයුතු කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස ජාතික ජලසම්පත් ප්‍රතිපත්තිය මඟින් යෝජිත ජාතික ජල සම්පත් සභාව හදිසි ක්‍රියාකාරී කමිටුවක් වශයෙන් කටයුතු කිරීමටත් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා; වාරිමාර්ග අමාත්‍යතුමා; සහ ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශයේ සඳහන් යෝජනා සඳහා අනුමැතිය ලබා දෙන ලදී.