• Increase font size
  • Default font size
  • Decrease font size

2023-08-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත
- දැනට බලාත්මක 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත ඉවත් කරමින් ත්‍රස්ත විරෝධී පනත හඳුන්වා දීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීම පිණිස 2023-02-27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. රජයේ ගැසට් පත්‍රයේ පළ කරන ලද එකී පනත් කෙටුම්පතෙහි සඳහන් ඇතැම් වගන්ති සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශ්වයන් ගණනාවක් විසින් ඉදිරිපත් කරන ලද අදහස් සැලකිල්ලට ගනිමින් එම පනත් කෙටුම්පත සඳහා අවශ්‍ය සංශෝධන හඳුන්වා දීමට තීරණය කරනු ලැබ ඇත. ඒ අනුව, දැනටමත් කෙටුම්පත් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා එලෙස හඳුනාගනු ලැබ ඇති සංශෝධන ඇතුළත් කරමින් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත නැවත සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.