• Increase font size
  • Default font size
  • Decrease font size

2023-08-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කතරගම පූජා භූමි සැලසුම් යෝජනා ක්‍රමය යටතේ ඉදිකරනු ලැබූ රජයේ විශ්‍රාම ශාලා ගොඩනැගිල්ල කිරිවෙහෙර රජමහා විහාරස්ථානයට පවරා දීම
- කතරගම පූජා භූමි සැලසුම් යෝජනා ක්‍රමය යටතේ ඉදිකරනු ලැබ ඇති රජයේ විශ්‍රාම ශාලා ගොඩනැගිල්ල අවුරුදු 05ක කාලසීමාවක් සඳහා නඩත්තු කර පවත්වාගෙන යාම පිණිස කිරිවෙහෙර රජමහා විහාරස්ථානයට පවරා දී එකී කාලසීමාව ඉකුත් වීමෙන් අනතුරුව එම විශ්‍රාම ශාලාව නැවත ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවට භාර ගනු ලැබ ඇත. එකී විශ්‍රාම ශාලා ගොඩනැගිල්ල නැවත කිරිවෙහෙර රජමහා විහාරස්ථානයට ලබා දෙන ලෙසට කතරගම රජමහා විහාරාධිපති ස්වාමීන් වහන්සේ විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, එම ගොඩනැගිල්ලේ නඩත්තුව, අලුත්වැඩියා කටයුතු සහ අදාළ ගිවිසුම්ගත සේවාවන් වෙනුවෙන් වන බිල්පත් කිරිවෙහෙර රජමහා විහාරස්ථානය විසින් නිරවුල් කිරීමට යටත්ව, අවබෝධතා ගිවිසුමක් මත වසර 05ක කාලසීමාවක් සඳහා එකී විශ්‍රාම ශාලාව කිරිවෙහෙර රජමහා විහාරස්ථානය වෙත ලබා දීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.