• Increase font size
  • Default font size
  • Decrease font size

2023-08-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කෙරවළපිටිය ග්‍රිඩ් උපපොළේ සිට නුගපේ හන්දිය දක්වා කිලෝ වොල්ට් (කි.වො.) 33 ද්විත්ව පරිපථ සීබ්‍රා කුළුණු මත විදුලි රැහැන් මාර්ගයක් ඉදි කිරීම
- මුතුරාජවෙල පරිසර ආරක්ෂණ ප්‍රදේශයේ මුදියන්සේ ඇළ ආශ්‍රිතව කෙරවළපිටිය ග්‍රිඩ් උපපොළේ සිට නුගපේ හන්දිය දක්වා කිලෝ වොල්ට් 33 ද්විත්ව පරිපථ සීබ්‍රා කුළුණු මත විදුලි රැහැන් මාර්ගයක් ඉදි කිරීම අවසර ලත් ක්‍රියාකාරකමක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට හැකි වන පරිදි දැනට බලපැවැත්වෙන 2006 10 13 දිනැති අංක 1466/26 දරන අති විශෙෂ ගැසට් නිවේදනය සංශෝධනය කර නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීම සඳහා පරිසර විෂයභාර අමාත්‍යවරයාට බලය ලබා දීම පිණිස 2022 12 19 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ. අදාළ විදුලි රැහැන් මාර්ගය මුදියන්සේ ඇළ ආශ්‍රිතව ඉදි කිරීම වෙනුවට මුතුරාජවෙල පරිසර ආරක්ෂණ ප්‍රදේශයේ මායිම අද්දරින් ඉදි කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දිය හැකි බව මධ්‍යම පරිසර අධිකාරිය විසින් ලංකා විදුලිබල මණ්ඩලය වෙත දැනුම් දී ඇත. ඒ අනුව, යෝජිත විකල්ප මාර්ගය ඔස්සේ එකී විදුලි රැහැන් මාර්ගය ඉදි කිරීමට හැකි වන පරිදි, එම කාර්යය අවසර ලත් ක්‍රියාකාරකමක් වශයෙන් ප්‍රකාශයට පත් කරමින් අංක 1466/26 දරන 2006 10 13 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය සංශෝධනය කර නව ගැසට් නිවේදනයක් මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිකුත් කිරීම සඳහා පරිසර විෂයභාර අමාත්‍යතුමාට බලය ලබා දීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.