• Increase font size
  • Default font size
  • Decrease font size

2023-08-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බහාලුම් ඩිපෝ ක්‍රියාකරුවන් නියාමනය කිරීම සඳහා නව පනතක් හඳුන්වා දීම
- 1972 අංක 10 දරන නැව් නියෝජිතයින්ට, නැව් බඩු ගෙනයන්නන්ට, යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු මෙහෙයුම්කරුවන්ට හා බහාලුම් ක්‍රියාකරුවන්ට බලපත්‍ර නිකුත් කිරීමේ පනත අවස්ථා ගණනාවකදී සංශෝධනය කරනු ලැබ ඇති අතර, එම පනතේ විධිවිධාන පරිදි බහාලුම් ඩිපෝ ක්‍රියාකරුවන් "සේවා සපයන්නෙකු" ලෙස සලකමින් නියාමනය කළ යුතුව ඇත. ඒ අනුව කටයුතු කිරීම, නවීන වෙළෙඳාම, නැව්ගත කිරීම සහ සැපයුම් සේවා අවශ්‍යතා සම්බන්ධයෙන් බහාලුම් ඩිපෝ ක්‍රියාකරුවන්ගේ සංවර්ධනය සහ ඔවුන්ගේ යටිතල පහසුකම් කෙරෙහි අයහපත් අයුරින් බලපාන බව පෙනී ගොස් තිබේ. එබැවින්, බහාලුම් ඩිපෝ ක්‍රියාකරුවන් විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර නියාමනය හා පාලනය, ගාස්තු හා ගාස්තු අනුපාතිකයන් තීරණය කිරීම, ගාස්තු පැනවීම හා එකතු කිරීම සඳහා විධිවිධාන සහිත නව පනතක් හඳුන්වා දීමටත්, ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.