• Increase font size
  • Default font size
  • Decrease font size

2023-08-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සඳහා වන ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්තිය සහ ක්‍රියාකාරී සැලසුම්
- 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන පරිදි ස්ථාපිත කර ඇති, ශ්‍රී ලංකා මහ බැංකුවේ දෙපාර්තමේන්තුවක් වශයෙන් ක්‍රියාත්මක මූල්‍ය බුද්ධි ඒකකය විසින් මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ පනතේ අර්ථ දක්වා ඇති අනෙකුත් නීති විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා වන විධිවිධාන ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලබයි. මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන් සකසන අන්තර්රාජ්‍ය ආයතනය වන මූල්‍ය කාර්යසාධක බලකාය සියලුම රටවල් විසින් ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ 40ක් හඳුන්වා දී ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාව මූල්‍ය කාර්යසාධක බලකායේ නිර්දේශවලට අනුකූලව කටයුතු කරන්නේද යන්න මූල්‍ය කාර්යසාධක බලකායේ කලාපීය ආයතනය වන මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියානු ශාන්තිකර කලාපීය කණ්ඩායම විසින් ඇගයීමට ලක් කරනු ලබයි. එම කණ්ඩායම විසින් සිදු කරන ශ්‍රී ලංකාවේ 3 වන අන්‍යෝන්‍ය ඇගයීම 2025 මාර්තු මාසයේ සිට ආරම්භ කිරීමට නියමිතය. ඒ සඳහා වඩාත් හොඳින් ශ්‍රී ලංකාවේ තත්ත්වය සහතික කර ගැනීමට හැකි වනු පිණිස 2023-2028 සඳහා වන මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සඳහා වන ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමටත්, මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් හඳුනාගෙන ඇති දුර්වලතාවන්ට විසඳුම් වශයෙන් ඒ ඒ ආයතන විසින් ඉටු කළ යුතු කාර්යයන් ඇතුළත් ක්‍රියාකාරී සැලසුම් ක්‍රියාත්මක කිරීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.