• Increase font size
  • Default font size
  • Decrease font size

2023-07-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන ක්‍රියාත්මක කිරීම
- අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන යටතේ කඩිනමින් ප්‍රතිලාභ ගෙවීමට අදාළව ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද පහත සඳහන් වැඩපිළිවෙල සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී:

* සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් අස්වැසුම වැඩසටහන සඳහා මූලික වටයේදී ප්‍රතිලාභීන් 1,792,265ක් තෝරාගෙන ඇති අතර ඒ අතුරින් අභියාචනා හෝ විරෝධතා ලැබී නොමැති ප්‍රතිලාභීන් 1,588,835ක් සඳහා ගෙවීම් කිරීම.

* ප්‍රතිලාභීන් වශයෙන් තෝරාගෙන ඇති එහෙත් ඉහළ කාණ්ඩයකට ඇතුළත් වීම සඳහා අභියාචනා ඉදිරිපත් කර ඇති ප්‍රතිලාභීන් 84,374 දෙනෙකුට ඔවුන්ගේ අභියාචනා සමාලෝචනය කර අවසන් තීරණයක් ලබා දෙන තෙක් ඔවුන් දැනට තේරී ඇති කාණ්ඩය යටතේ හිමි ප්‍රතිලාභ ගෙවීම.

* තෝරාගනු ලැබ ඇති ප්‍රතිලාභීන් අතුරින් 119,056 දෙනෙකුට එරෙහිව විරෝධතා ඉදිරිපත් වී ඇති අතර එම විරෝධතා සම්බන්ධයෙන් පවත්වනු ලබන සමාලෝචන ක්‍රියාවලිය අවසන් වන තෙක් ඔවුන්ට හිමි ප්‍රතිලාභ ගෙවීම.

* වැඩසටහන යටතේ ප්‍රතිලාභ සඳහා අයදුම් කර ඇති එහෙත් තෝරාගෙන නොමැති දැනට සමෘද්ධි ප්‍රතිලාභ භුක්ති විඳින 393,094 දෙනෙකුට අස්වැසුම වැඩසටහන යටතේ අභියාචනා සහ විරෝධතා සමාලෝචන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අවසන් වන තෙක් සමෘද්ධි වැඩසටහන යටතේ ප්‍රතිලාභ ගෙවීම් කිරීම.

* දැනට වකුගඩු රෝග ආධාර සහ ආබාධිත ආධාර ලබන ප්‍රතිලාභීන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඉදිරියටත් ගෙවීම් සිදු කිරීම සහ වැඩිහිටි ආධාර තැපැල් කාර්යාල මඟින් තවදුරටත් ලබා දීම.

* රැකබලා ගන්නා නිවාසවල හෝ ආගමික සිද්ධස්ථානවල සිටින වකුගඩු රෝගයෙන් පෙළෙන, ආබාධිත හෝ වයෝවෘද්ධ පුද්ගලයින් 11,660 දෙනෙකු සඳහා ද අදාළ ප්‍රතිලාභ තවදුරටත් ගෙවීම.