• Increase font size
  • Default font size
  • Decrease font size

2023-07-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හදිසි මරණ පරීක්ෂක කාර්යභාරය විධිමත් හා කාර්යක්ෂම කිරීම
- හදිසි මරණ පරීක්ෂකවරුන් පත් කිරීම කෝරළ පදනමින්, නාගරික කොට්ඨාස පදනමින් හා රෝහල් පදනමින් සිදු කරනු ලැබ ඇති බැවින් අදාළ බලසීමාවන්හි මායිම් නිශ්චිතව හඳුනා ගැනීමට නොහැකි වීම හේතුවෙන් හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවාවන් ලබා ගැනීමේදී මහජනතාවට අපහසුතාවන්ට මුහුණ පෑමට සිදුව තිබේ. එසේම, දීර්ඝ කාලයක් තුළ හදිසි මරණ පරීක්ෂක පත්වීම් ලබා නොදීම මත ඇතැම් දිස්ත්‍රික්කයන්හි පුරප්පාඩු විශාල වශයෙන් පැවතීම හේතුවෙන් ද මහජනතාවට අපහසුතා පැන නැගී ඇත. එම ගැටලු නිරවුල් කර මහජනතාවට වඩාත් කාර්යක්ෂම හා විධිමත් සේවාවක් සැලසීමේ අරමුණින් හදිසි මරණ පරීක්ෂකවරුන් පත් කිරීමේ සුදුසුකම්, ඔවුන්ගේ වගකීම් හා කාර්යභාරයන් ඇතුළු විධිවිධාන පැහැදිලිව දක්වමින් ස්ථාවර කාර්ය සංග්‍රහයක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් සකස් කරනු ලැබ ඇත. එකී කාර්ය සංග්‍රහයේ විධිවිධානයන්ට අනුගතව දැනට පත් කරනු ලැබ ඇති සියලුම හදිසි මරණ පරීක්ෂකවරුන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා හඳුනාගත් රෝහල් සඳහා අනුයුක්ත කිරීමටත්, ද්විභාෂා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද්විභාෂා හදිසි මරණ පරීක්ෂකවරුන් පත් කිරීමටත්, තවදුරටත් පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා අලුතින් බඳවාගැනීම් සිදු කිරීමටත් අදාළව සිය අමාත්‍යාංශය සැලසුම් කර ඇති ඉදිරි වැඩපිළිවෙල අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදුව, එකී වැඩපිළිවෙල සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.