• Increase font size
  • Default font size
  • Decrease font size

2023-07-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව ගෝලීය ජෛව ඉන්ධන සන්ධානයෙහි ආරම්භක සාමාජිකයෙකු වීම
- ඉන්දියාව G20 සංවිධානයෙහි සභාපති වශයෙන් කටයුතු කරනු ලබන කාලය තුළ ගෝලීය ජෛව ඉන්ධන සන්ධානයක් පිහිටුවීමට පියවර ගනු ලබන බවට 2023 පෙබරවාරි මාසයේ පැවති ඉන්දියානු බලශක්ති සතියේදී නිවේදනය කරනු ලැබ ඇත. ප්‍රමුඛ පෙළේ ජෛව ඉන්ධන නිෂ්පාදකයින් හා පාරිභෝගිකයින් වන බ්‍රසීලය, ඉන්දියාව සහ එක්සත් ජනපදය වැනි රටවල් අනෙකුත් උනන්දුවක් දක්වන රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමටත්, බලශක්ති ක්ෂේත්‍රය සහ විශේෂයෙන් ප්‍රවාහනයේදී තිරසර ජෛව ඉන්ධන භාවිතය දිරිමත් කිරීමටත් යෝජිත සන්ධානය යටතේ අපේක්ෂා කරනු ලබයි. එසේම, ගෝලීය ජෛව ඉන්ධන වෙළෙඳාමට පහසුකම් සැලසීම, ප්‍රශස්ත ප්‍රතිපත්ති සංවර්ධනය කිරීම සඳහා හොඳම භාවිතයන් හුවමාරු කර ගැනීම සහ ලෝක ව්‍යාප්ත ජාතික ජෛව ඉන්ධන භාවිතයන් සඳහා තාක්ෂණික සහාය ලබා දීම මඟින් වෙළෙඳපොළ සංවර්ධනය කිරීම මෙන්ම ශක්තිමත් කිරීම කෙරෙහි යෝජිත සන්ධානය අවධානය යොමු කරනු ඇත. එකී නව සන්ධානයට එක් වීම සඳහා ඉන්දියාව සියලු ජාතීන්ගේ එකඟතාව අපේක්ෂා කරන අතර එම සන්ධානයේ ආරම්භක සාමාජිකයෙකු වීම සඳහා පදනම් ලේඛනයට අත්සන් කරන ලෙස ශ්‍රී ලංකාවට ආරාධනා කර තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකාව ගෝලීය ජෛව ඉන්ධන සන්ධානයේ ආරම්භක සාමාජිකයෙකු වීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.