• Increase font size
  • Default font size
  • Decrease font size

2023-07-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යුරෝපා සංගමයේ ප්‍රදාන මඟින් මූල්‍යයනය කිරීමට යෝජිත ආහාර අංශයේ චක්‍රීය ආර්ථිකය ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය
- ශ්‍රී ලංකාව සඳහා වන යුරෝපා සංගමයේ උපායමාර්ගික වැඩසටහන යටතේ ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති "ශ්‍රී ලංකාව සඳහා බහුවාර්ෂික දර්ශක වැඩසටහන 2021-2027" මඟින් 2021-2024 කාලසීමාව සඳහා යූරෝ මිලියන 60ක ප්‍රදානයක් වෙන් කරනු ලැබ ඇත. එම ප්‍රදානයෙන් යූරෝ මිලියන 15ක් යොදා ගනිමින් "ආහාර අංශයේ චක්‍රීය ආර්ථිකය ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය" යනුවෙන් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. ආහාර අර්බුද සහ දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කරමින් ආහාර අංශයේ චක්‍රීය ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම යෝජිත ව්‍යාපෘතියෙහි මූලික අරමුණ වශයෙන් හඳුනාගනු ලැබ ඇත. කාර්යක්ෂම ආහාර බෙදාහැරීමේ මාර්ගයන්/ක්‍රමවේදයන් යොදා ගැනීමටත්, ආහාර නාස්තිය අවම කිරීම මඟින් අවදානමට ලක් විය හැකි පුද්ගලයින් සඳහා ආහාර සුරක්ෂිතතාව වර්ධනය කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම සඳහාත්, ආහාර අපද්‍රව්‍ය කාබනික පොහොර හා සත්ත්ව ආහාර වැනි කෘෂිකාර්මික යෙදවුම් බවට පත් කිරීම සඳහාත් ව්‍යාපෘතිය මඟින් සහාය වනු ඇත. ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා යුරෝපා සංගමය සමඟ ප්‍රදාන ගිවිසුමකට එළඹීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.