• Increase font size
  • Default font size
  • Decrease font size

2023-07-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතන පාලක සභාව වෙත බදු දී ඇති කොළඹ 02, ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත පිහිටි ඉඩම ප්‍රදානයක් ලෙස ලබා දීම
- බේරේ වැව ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතනය විසින් පරිහරණය කරමින් තිබූ ඉඩම් වෙනුවට කොළඹ 02, ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත පිහිටි පර්චස් 45ක ඉඩම් කොටසක් වාර්ෂික බදු කුලී පදනම මත 99 අවුරුදු බදු කාලසීමාවකට අධ්‍යාපන අරමුණු සඳහා එම ආයතනය වෙත ලබා දී තිබේ. වඩාත් කාර්යක්ෂමව අධ්‍යාපන සේවා සැපයීම සහ එම ආයතනයේ අධ්‍යාපනය ලබන සිසුන් වෙත වැඩි පහසුකම් ලබා දීමට හැකි වන පරිදි එකී ඉඩම සංවර්ධනය කිරීම සඳහා දීර්ඝකාලීන බද්දක් වෙනුවට එම ඉඩම් කොටස ප්‍රදානයක් ලෙස ලබා දෙන ලෙස ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතන පාලක සභාවේ අනුශාසක ස්වාමීන් වහන්සේ විසින් ඉල්ලීමක් කරනු ලැබ ඇත. එකී ඉල්ලීම 2023-04-06 දින නාගරික සංවර්ධන අධිකාරියේ කළමනාකරණ මණ්ඩලය විසින් අනුමත කර තිබේ. ඒ අනුව, එකී ඉඩම් කොටස නාගරික සංවර්ධන අධිකාරිය විසින් ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතන පාලක සභාව වෙත ප්‍රදානයක් වශයෙන් ලබා දීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.