• Increase font size
  • Default font size
  • Decrease font size

2023-07-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ජල සම්පත් ප්‍රතිපත්තිය හා ක්‍රියාත්මක කිරීමේ කළමනාකරණ යාන්ත්‍රණය
- පසුගිය දශකය පුරා පැවති උග්‍ර දේශගුණික විපර්යාස තත්ත්වයන් හේතුවෙන් මේ වන විට ලෝකයේ දේශගුණික විපර්යාස නිසා වැඩියෙන්ම පීඩා විදින රටවල් අයත් කාණ්ඩයට ශ්‍රී ලංකාව ද ඇතුළත්ව තිබේ. මෙම තත්ත්වය හමුවේ ක්‍රමිකව දිවයිනේ වියළි ප්‍රදේශවලට මෝසම් වර්ෂාව මඟින් ලැබෙන වර්ෂාපතනය අඩු වීමත් සමඟම තෙත් කලාපයට ලැබෙන වර්ෂාව වැඩි වීමේ ප්‍රවණතාවන් නිසා අනපේක්ෂිත ලෙස දැඩි නියං තත්ත්වයන්ට මෙන්ම ගංවතුර තත්ත්වයන්ට ද මුහුණ දීමට සිදුව ඇත. පාලනය කළ නොහැකි අයුරින් නිර්මාණය වන එවැනි දේශගුණික විපර්යාස පසුබිමක් යටතේ පානීය, වාරි, බලශක්ති හා සේවා අවශ්‍යතා වෙනුවෙන් මෙරට සතු සීමිත ජල සම්පත ප්‍රශස්ත අයුරින් කළමනාකරණය කිරීම අතිශයින්ම සංකීර්ණ ක්‍රියාවලියක් බවට පරිවර්තනය වෙමින් පවතී. එබැවින්, වඩාත් ප්‍රායෝගික ජලසම්පත් ප්‍රතිපත්තියක් හඳුන්වා දීම ප්‍රමුඛ ජාතික අවශ්‍යතාවක් බවට පත් වී ඇත. ඒ අනුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වන මහාචාර්ය සී.එම්.මද්දුම බණ්ඩාර මහතාගේ සභාපතිත්වයෙන් යුතුව අදාළ ක්ෂේත්‍රයන් නියෝජනය වන පරිදි පත් කරන ලද විශේෂඥ කමිටුව විසින් අග්‍රාමාත්‍ය කාර්යාලයේ සම්බන්ධීකරණය යටතේ සකස් කරනු ලැබ ඇති ජාතික ජල සම්පත් ප්‍රතිපත්තිය සහ ක්‍රියාත්මක කිරීමේ කළමනාකරණ යාන්ත්‍රණය ගරු අග්‍රාමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදුව, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දීමට තීරණය කරන ලදී.