• Increase font size
  • Default font size
  • Decrease font size

2023-06-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
- රට තුළ පවතින අයහපත් ආර්ථික තත්ත්වය හේතුවෙන් විදේශ සංචිත සහ මූල්‍ය වෙළෙඳපොළ මත වැඩි වන පීඩනය ලිහිල් කිරීම සඳහා තෝරාගත් ඇතැම් භාණ්ඩ ආනයනය තාවකාලිකව අත්හිටුවීම පිණිස වන රෙගුලාසි 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කරනු ලැබ ඇත. එකී රෙගුලාසි ලිහිල් කිරීම මඟින් ගෙවුම් ශේෂය මත අවම බලපෑමක් ඇති කරනු ලබන තෝරාගත් භාණ්ඩ වර්ග ආනයනය සඳහා වන සීමාවන් ඉවත් කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා මහ බැංකුව සහ අනෙකුත් අදාළ පාර්ශ්වයන් විසින් හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, තාවකාලිකව ආනයන අත්හිටුවීමේ උපලේඛනයේ සංයෝජිත වර්ගීකරණ සංකේත 1,216ක් වන ලැයිස්තුවෙන් සංයෝජිත වර්ගීකරණ සංකේත 286ක් ඉවත් කිරීමට තීරණය කරනු ලැබ ඇත. ඒ සඳහා වන 2023 අංක 09 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි, 2023 06 09 දිනැති අංක 2335/26 දරන අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. එකී රෙගුලාසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.