• Increase font size
  • Default font size
  • Decrease font size

2023-06-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විදේශයන් සතුව පවතින ශ්‍රී ලාංකේය සංස්කෘතික උරුම නැවත මෙරටට ලබා ගැනීම
- යුනෙස්කෝ සංවිධානය විසින් 1970 වර්ෂයේදී සම්මත කරන ලද සංස්කෘතික දේපළවල නීතිවිරෝධී ආනයනය, අපනයනය සහ අයිතිය පැවරීම තහනම් කිරීම සහ වැළැක්වීම පිළිබඳ ප්‍රඥප්තියේ 7 සහ 13 යන වගන්ති අනුව, දැනට විදේශයක් සතුව පවතින කිසියම් රාජ්‍යයකට අයත් සංස්කෘතික දේපළක් එය අයත් රාජ්‍යයට නැවත ලබා දෙන ලෙස ඉල්ලා සිටීමේ අයිතිවාසිකමක් පවතී. ඒ අනුව, යටත්විජිත ලෙස පැවති රටවලින් රැගෙන විත් දැනට නෙදර්ලන්තයේ රාජ්‍ය කෞතුකාගාරවල තැන්පත් කර ඇති කෞතුක භාණ්ඩ නැවත එම කෞතුක භාණ්ඩ හිමි රටවල් වෙත ආපසු භාර දීමට එරට රජය විසින් තීරණය කර ඇත. නෙදර්ලන්තය සතුව තිබූ එවැනි කෞතුක භාණ්ඩ 6ක් සම්බන්ධයෙන් කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ සහ ස්වාධීන පර්යේෂකයින්ගේ සහභාගිත්වයෙන් සිදු කරනු ලැබ ඇති පර්යේෂණ ව්‍යාපෘතියක් අනුව, එකී කෞතුක භාණ්ඩ සියල්ලම යටත්විජිත සමයේදී ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය භාණ්ඩ බවට තහවුරු වී තිබේ. එකී කෞතුක භාණ්ඩ නැවත මෙරටට ලබා ගැනීම සඳහා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් මේ වන විට රාජ්‍යතාන්ත්‍රික ඉල්ලීමක් ඉදිරිපත් කරනු ලැබ ඇත. ඒ අනුව, ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීම සඳහාත්, දැනට විවිධ රටවල පවතින ශ්‍රී ලාංකීය කෞතුක භාණ්ඩ නැවත මෙරටට ලබා ගැනීම සඳහා ක්‍රියාකාරී සැලස්මක් සකස් කිරීම සඳහාත් නිලධාරි කමිටුවක් පත් කිරීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.