• Increase font size
  • Default font size
  • Decrease font size

2023-06-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විස්තීර්ණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් ගිවිසුම් සංවිධානයේ ස්ථානීය පරීක්ෂාවේ ඒකාබද්ධ ක්ෂේත්‍ර අභ්‍යාස - 2025 සඳහා ශ්‍රී ලංකාව විසින් සත්කාරකත්වය ලබා දීම
- ශ්‍රී ලංකාව 1996-10-24 දින විස්තීර්ණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් ගිවිසුමට අත්සන් තබා ඇති අතර, එම ගිවිසුම අපරානුමත කිරීම සඳහා 2023-06-12 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත. යම් රටක් විසින් න්‍යෂ්ටික අත්හදා බැලීමක්/පිපිරීමක් සිදු කර තිබේද යන්න පිළිබඳව සනාථ කර ගැනීම පිණිස ස්ථානීය පරීක්ෂාවක් සිදු කිරීම සඳහා විස්තීර්ණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් ගිවිසුම් සංවිධානය විසින් එම ගිවිසුමේ IV වන වගන්තිය මඟින් සත්‍යාපන යාන්ත්‍රණයක් ස්ථාපිත කරනු ලැබ තිබේ. ඒ සඳහා වන ක්‍රියාකාරකම් හා කාර්යයන් ඉටු කිරීම සඳහා සහ පරීක්ෂණ උපකරණ පිළිබඳ පුහුණුව ලබා දීම පිණිස ඒකාබද්ධ ක්ෂේත්‍ර අභ්‍යාස වැඩසටහන හඳුන්වා දී තිබේ. විස්තීර්ණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් ගිවිසුම් සංවිධානයේ ශ්‍රී ලංකාවේ ජාතික තාක්ෂණික කේන්ද්‍රස්ථානය වශයෙන් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් ඒකාබද්ධ ක්ෂේත්‍ර අභ්‍යාස - 2025 වැඩසටහන සඳහා වන සත්කාරකත්වය ලබා දීම පිණිස ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත. එම ඉල්ලීම පරිදි සිදු කරන ලද සුදුසුකම් තක්සේරුව අනුව මාදුරුඔය ජාතික වනෝද්‍යානයට යාබද ප්‍රදේශය අදාළ ඒකාබද්ධ ක්ෂේත්‍ර අභ්‍යාස පැවැත්වීම සඳහා යෝග්‍ය බවට හඳුනා ගනු ලැබ තිබේ. ඒ අනුව, ස්ථානීය පරීක්ෂාවේ ඒකාබද්ධ ක්ෂේත්‍ර අභ්‍යාස - 2025 සඳහා වන සත්කාරකත්වය ශ්‍රී ලංකාව විසින් භාර ගැනීම පිණිස විදේශ කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.