• Increase font size
  • Default font size
  • Decrease font size

2023-06-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හවුල්කාරිත්ව සහ නව මූල්‍යකරණ ක්‍රියාවලියක් තුළින් ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ ජෛව විවිධත්වය අනුප්‍රවාහගත කිරීම සහ තිරසර ඉඩම් කළමනාකරණය සඳහා වන ව්‍යාපෘතිය
- තෙත් කලාපීය ඉඩම් සඳහා පවතින අධික ඉල්ලුම, වනාන්තර ඛණ්ඩනය වීම, වනාන්තර විනාශය හා ඉඩම් හායනය, වේගවත් සංවර්ධන ක්‍රියාදාමයන්, ආගන්තුක ආක්‍රමණශීලී ශාක ව්‍යාප්තිය, තිරසර නොවන භූමි පරිහරණ හා කෘෂිකාර්මික රටාවන්, වර්ෂාපතනයේ වෙනස්වීම් සහ උෂ්ණත්වයේ හා නියඟයේ බලපෑම් වැනි හේතූන් එම කලාපය තුළ පවතින ජෛව විවිධත්වයට, ජල පෝෂක ප්‍රදේශ හායනය වීමට, පසෙහි නිෂ්පාදන ධාරිතාවට මෙන්ම තේ හා රබර් ඇතුළු වාර්ෂික හා බහුවාර්ෂික භෝග වගාවන්හි පැවැත්මට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇත. එබැවින්, තේ සහ රබර් ඉඩම් ආශ්‍රිතව පවතින ඉහළ ජෛව විවිධත්වයකින් යුත් කුඩා වනාන්තර සංරක්ෂණය කිරීමට සහ තිරසර ඉඩම් කළමනාකරණයට නිසි පියවර ගැනීම කෙරෙහි අවධානය යොමු වී තිබේ. ඒ අනුව, පරිසර අමාත්‍යාංශය, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ පාර්ශ්වයන් එක්ව ඒ සඳහා සකස් කරනු ලැබ ඇති හවුල්කාරිත්ව සහ නව මූල්‍යකරණ ක්‍රියාවලියක් තුළින් ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ ජෛව විවිධත්වය අනුප්‍රවාහගත කිරීම සහ තිරසර ඉඩම් කළමනාකරණය සඳහා වන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ගෝලීය පාරිසරික පහසුකම මඟින් ඇමෙරිකානු ඩොලර් මිලියන 04ක පමණ ප්‍රදානයක් ලබා දීමට එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහන විසින් එකඟතාව පළ කර තිබේ. නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක හය (06) තුළ රාජ්‍ය පෞද්ගලික සහ ප්‍රජා හවුල්කාරිත්වය මඟින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති යෝජිත ව්‍යාපෘතිය වෙනුවෙන් අදාළ ප්‍රදානය ලබා ගැනීම පිණිස එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ පරිසර අමාත්‍යාංශය අතර ගිවිසුමකට එළඹීම සඳහා පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.