• Increase font size
  • Default font size
  • Decrease font size

2023-06-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විස්තීර්ණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් ගිවිසුම (CTBT) අපරානුමත කිරීම
- 1996-09-10 දින එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය විසින් විස්තීර්ණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් ගිවිසුම සම්මත කරනු ලැබ ඇත. එකී ගිවිසුම මඟින් ලෝකයේ කිසිම තැනක "ඕනෑම න්‍යෂ්ටික අවි අත්හදා බැලීමක් හෝ වෙනත් න්‍යෂ්ටික පිපිරීමක්" තහනම් කිරීමට සාමාජික රටවල් එකඟ වී තිබේ. මේ වන විට රටවල් 186ක් එකී ගිවිසුමට අත්සන් තබා ඇති අතර රටවල් 177ක් ගිවිසුම අපරානුමත කරනු ලැබ ඇත. ශ්‍රී ලංකාව විස්තීර්ණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් ගිවිසුමට 1996-10-24 දින අත්සන් තබා ඇත. දැනට ශ්‍රී ලංකාව විස්තීර්ණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් ගිවිසුම් සංවිධානය සමඟ පුහුණුව, ධාරිතා සංවර්ධනය, දත්ත සහ තොරතුරු බෙදා ගැනීම යන ක්ෂේත්‍රවල සහයෝගිතාවයෙන් කටයුතු කරනු ලබයි. එම ගිවිසුම ශ්‍රී ලංකාව විසින් අපරානුමත කිරීම මඟින් න්‍යෂ්ටික අවිවලින් තොර ලෝකයක ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව පිළිබදව ක්‍රියාකාරී යෝජකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික භූමිකාව පිළිගැනීමට ලක් වීමටත්, සුනාමි අනතුරු ඇඟවීම්, දේශගුණික විපර්යාස හා භූමි අධ්‍යයනය වැනි ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවලට ප්‍රතිලාභ ලබා දෙන සිවිල් සහ විද්‍යාත්මක අරමුණු සඳහා ප්‍රයෝජනවත් දත්ත සපයා ගැනීමටත් හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාව විසින් විස්තීර්ණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් ගිවිසුම් අපරානුමත කිරීමටත්, එකී ගිවිසුමේ විධිවිධාන බලාත්මක කිරීම සඳහා නීති සම්පාදනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමටත් වැඩබලන විදේශ කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.