• Increase font size
  • Default font size
  • Decrease font size

2023-06-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ නිදන්ගත බෝ නොවන රෝග වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා වන ජාතික ප්‍රතිපත්තිය සහ උපායමාර්ගික රාමුව
- ශ්‍රී ලංකාවේ බෝ නොවන රෝග හේතුවෙන් සිදු වන මරණවලින් වැඩි ප්‍රතිශතයකට ප්‍රධාන හේතුව හෘද රෝග, ආඝාතය, පිළිකා, නිදන්ගත ශ්වසන රෝග සහ දියවැඩියාව වැනි රෝග වන අතර, සෑම වසරකම එම රෝග තත්ත්වයන් හේතුවෙන් මරණ 120,000ක් පමණ සිදු වේ. දුම්කොළ භාවිතය, අහිතකර ලෙස මත්පැන් පානය, තරබාරු බව, රුධිර පීඩනය වැඩි වීම, රුධිරයේ සීනි ප්‍රමාණය වැඩි වීම සහ රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි වීම වැනි හේතුන් එම රෝග සඳහා ප්‍රධාන වශයෙන් බලපාන සාධක ලෙස හඳුනාගනු ලැබ ඇත. එබැවින්, එකී රෝග කල් ඇතිව හඳුනාගැනීම සඳහා පරීක්ෂණ සේවා සැපයීමට සහ නියමිත වේලාවට ප්‍රතිකාර කිරීමට හැකි වන පරිදි සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කළ යුතුව තිබේ. බෝ නොවන රෝග වැළැක්වීම සඳහා වන පළමු ජාතික ප්‍රතිපත්තිය 2009 වර්ෂයේදී ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති අතර, එකී ප්‍රතිපත්තිය ඇගයීමට හා සමාලෝචනයට ලක් කර අදාළ සියලු පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් සංශෝධිත නව ප්‍රතිපත්තිය කෙටුම්පත් කර ඇත. ඒ අනුව, සකස් කරනු ලැබ ඇති ශ්‍රී ලංකාවේ නිදන්ගත බෝ නොවන රෝග වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා වන සංශෝධිත ජාතික ප්‍රතිපත්තිය සහ උපායමාර්ගික රාමුව ක්‍රියාත්මක කිරීම සඳහාත්, එකී ජාතික ප්‍රතිපත්තිය සහ උපායමාර්ගික රාමුව රජයේ ගැසට් පත්‍රයේ පළ කර ප්‍රකාශයට පත් කිරීම සඳහාත් සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.