• Increase font size
  • Default font size
  • Decrease font size

2023-05-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නැව් කටයුතු කර්මාන්තය ඇතුළුව සැපයුම් සේවා සංවර්ධනය සඳහා ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීම
- නැව් කටයුතු කර්මාන්තය ඇතුළුව සැපයුම් සේවා කර්මාන්තයේ තරගකාරිත්වය ඕනෑම රටක ආර්ථික සංවර්ධනය සඳහා ප්‍රධානතම සාධකයක් වන අතර සිංගප්පූරුව හා හොංකොං වැනි රටවල් විසින් ලබා ගෙන ඇති අත්දැකීම් සැලකිමේදී ශ්‍රී ලංකාව වැනි දූපත් ආර්ථිකයකට එය වඩාත් අදාළ වේ. එහෙත්, ශ්‍රී ලංකාවේ නැව් කටයුතු කර්මාන්තය ඇතුළුව සැපයුම් සේවා කර්මාන්තයට අදාළව දැනට පවතින ප්‍රතිපත්තිය හා නියාමන රාමුව බෙහෙවින් ආරක්ෂාකාරී වන අතර එය කර්මාන්තයේ සංවර්ධනය සඳහා ආයෝජන ආකර්ෂණය කර ගැනීමට හෝ තරගකාරී/පිරිවැය ඵලදායී සැපයුම් සේවා භාවිත කරන්නන්හට එවැනි සේවා සැපයීමට හිතකර තත්ත්වයක් නිර්මාණය කිරීමට හෝ ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් ඇත. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් සැපයුම් සේවා කර්මාන්තය පිළිබඳ ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමේ අවශ්‍යතාව 2023 අයවැය මඟින් ද යෝජනා කරන ලදී. ඒ අනුව, නැව් කටයුතු කර්මාන්තය ද ඇතුළුව සැපයුම් සේවාවලට අදාළ දැනට පවතින ප්‍රතිපත්ති හා නියෝග අධ්‍යයනය කර ජාත්‍යන්තර මනා පරිචයන්ට අනුකූලව 2023-2027 කාලසීමාව ආවරණය වන පරිදි සැපයුම් සේවා සංවර්ධන වැඩසටහනක් සකස් කිරීම පිණිස භාණ්ඩාගාරයේ ලේකම්ගේ සභාපතිත්වය යටතේ අනෙකුත් අදාළ ආයතනවල නියෝජිතයින්ගෙන් සමන්විත ප්‍රතිපත්ති කමිටුවක් පත් කිරීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.