• Increase font size
  • Default font size
  • Decrease font size

2023-05-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හරිත බැඳුම්කර රාමුව
- හරිත මූල්‍යයනයන් සඳහා යොමු වීම සම්බන්ධයෙන් වන රජයේ අපේක්ෂාව 2023 අයවැය මඟින් ප්‍රකාශ කරන ලදී. එවැනි බැඳුම්කර නිකුතු මඟින් ලැබෙන අරමුදල් පුනර්ජනනීය බලශක්තිය, බලශක්ති කාර්යක්ෂමතාව, හරිත ගොඩනැඟිලි, පිරිසිදු ප්‍රවාහනය, තිරසර ජලය සහ අපජල කළමනාකරණය, පරිසර දූෂණය වැළැක්වීම, පාලනය සහ චක්‍රීය ආර්ථික කටයුතු, දේශගුණික වෙනස්වීම් සඳහා අනුගත වීම, ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම සහ ස්වභාවික සම්පත් හා ඉඩම් භාවිතය තිරසර කළමනාකරණය වැනි කටයුතු සඳහා යොදා ගැනීමට හැකියාව පවතී. හරිත/නීල සහ තිරසර මූල්‍ය උපකරණ තුළින් මූල්‍යයනය වෙත ප්‍රවේශ වීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් රාමුවක් ස්ථාපිත කිරීම පිණිස රජයට සහාය වීමට ආසියා සහ පැසිෆික් කලාපය සඳහා එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජ කොමිෂම (UNESCAP), එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ ගෝලීය හරිත වර්ධන ආයතනය (GGGI) යන ආයතන එකඟතාව පළ කර ඇති අතර ඒ අනුව, මේ වන විට හරිත බැඳුම්කර රාමුවක් කෙටුම්පත් කරනු ලැබ ඇත. එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජ කොමිෂමේ (UNESCAP) සහ ගෝලීය හරිත වර්ධන ආයතනයේ (GGGI) සහාය ඇතිව දැනට කෙටුම්පත් කරනු ලැබ ඇති හරිත බැඳුම්කර රාමුව වලංගු ලේඛනයක් බවට පත් කිරීමට හැකි වන පරිදි දෙවන පාර්ශ්ව මතයක් (Second Party Opinion - SPO) ලබා ගැනීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.