• Increase font size
  • Default font size
  • Decrease font size

2023-05-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කර්මාන්ත ප්‍රදර්ශන සතියක් ප්‍රකාශයට පත් කිරීම
- දැනට 28%ක් වන දළ දේශීය නිෂ්පාදිතයට කර්මාන්ත අංශයේ දායකත්වය 30% දක්වාත්, දැනට දළ ජාතික නිෂ්පාදිතයට 15%ක් වන නිෂ්පාදන කර්මාන්ත දායකත්වය 25% දක්වාත් 2030 වන විට වැඩි කිරීම පිණිස අවශ්‍ය සැලසුම් සකස් කරනු ලැබ ඇත. එසේම, දැනට 2.8%ක් වන ව්‍යවසායකයන්ගේ ප්‍රතිශතය 10% දක්වාත්, දළ ජාතික නිෂ්පාදනයට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්තවල දායකත්වය 52% සිට 70% දක්වාත් 2030 වන විට වැඩි කිරීමට අපේක්ෂා කරනු ලබයි. එම ඉලක්ක සපුරා ගැනීම සඳහා කර්මාන්ත ක්ෂේත්‍ර 06ක් හඳුනාගෙන ඇති අතර, එම ක්ෂේත්‍රවලට අවශ්‍ය කෙරෙන යටිතල පහසුකම් මෙන්ම අනෙකුත් පහසුකම් සැලසීම සඳහා ඒකාබද්ධ ප්‍රවේශයක් සහතික කිරීමට කර්මාන්ත අමාත්‍යාංශය විසින් පියවර ගනු ලැබ ඇත. ඒ අනුව, කර්මාන්ත ඇමතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සැලකිල්ලට ගෙන, දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය දිරිගැන්වීම සහ නගා සිටුවීම මෙන්ම විදේශීය ආයෝජකයන් සහ කර්මාන්තකරුවන් ආකර්ෂණය කර ගැනීම අරමුණු කර ගනිමින් වාර්ෂිකව කර්මාන්ත ප්‍රදර්ශන සතියක් පැවැත්වීම සඳහාත් එහි ආරම්භක පියවර වශයෙන් එම ප්‍රදර්ශනය මෙම වර්ෂයේ ජුනි මස 22 සිට 25 දින දක්වා පැවැත්වීම සඳහාත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.