• Increase font size
  • Default font size
  • Decrease font size

2023-05-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
- සමාජයේ වඩාත්ම අවදානමට ලක් විය හැකි කණ්ඩායම් ආරක්ෂා කිරීම සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහනේ යෝජිත ක්‍රියාකාරකම් අතුරින් ප්‍රමුඛ ක්‍රියාකාරකමක් වශයෙන් හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, සැලසුම් කරනු ලැබ ඇති සමාජ ආරක්ෂණ ව්‍යාපෘතියට සහාය වීම පිණිස ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබා දීමට ලෝක බැංකුව එකඟතාව පළ කර තිබේ. ඉලක්කගත පවුල් සඳහා මූල්‍ය සහනාධාර සැලසීම, දුප්පත් සහ අවදානමට ලක් වූවන් සඳහා අවස්ථා වැඩිදියුණු කිරීමේ නියමු වැඩසටහන සහ සමාජ ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම යන සංරචක තුන (03) යටතේ යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ඇත. ඒ අනුව, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අරමුදල් සලසා ගැනීම පිණිස ලෝක බැංකුව සමඟ ණය සම්මුති සාකච්ඡා පැවැත්වීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.