• Increase font size
  • Default font size
  • Decrease font size

2023-04-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2011 අංක 18 දරන වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බදු පනතේ විධිවිධාන පරිදි පනවනු ලැබ ඇති නියෝගය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
- නිෂ්පාදන කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම, ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා පවතින බාධා ඉවත් කිරීම සහ කෘෂිකර්මාන්තය ඇතුළු දේශීය කර්මාන්ත සහ ව්‍යාපෘති සඳහා අවශ්‍ය දිරි ගැන්වීම් සහ පහසුකම් සැපයීම පිණිස වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද සහ වෙළෙඳ භාණ්ඩ අපනයන සහනාධාර යෝජනා ක්‍රමය යටතේ වන බද්ද (සෙස් බද්ද) වැනි තීරු බදු නොවන, ආනයන මත පනවා ඇති වෙනත් බදු ක්‍රමානුකූලව ඉවත් කිරීම සඳහා ගරු ජනාධිපතිතුමා විසින් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් 2023 අයවැය මඟින් යෝජනා කරන ලදී. ඒ අනුව කටයුතු කිරීමේදී රජයේ ආදායමට සිදු වන බලපෑම තුලනය කිරීම රේගු ආනයන බදු මඟින් සිදු කිරීමට අපේක්ෂා කරනු ලබයි. මෙම වැඩපිළිවෙල ලෝක බැංකුවේ සංවර්ධන ප්‍රතිපත්ති මූල්‍යයන වැඩසටහනේ කොටසක් ලෙස ඉටු කළ යුතු පූර්ව ක්‍රියාමාර්ගයක් වශයෙන් හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, මූලික පියවර වශයෙන් රජයට අවම ආදායමක් අහිමි වන පදනම මත තෝරාගත් තීරු බදු අයිතම 1,631ක් වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බද්දෙන් නිදහස් කිරීම පිණිස 2011 අංක 18 දරන වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බදු පනතේ විධිවිධාන යටතේ නියෝගයක් නිකුත් කරනු ලැබ ඇත. එකී නියෝගය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.