• Increase font size
  • Default font size
  • Decrease font size

2023-04-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2002 අංක 24 දරන සුබසාධන ප්‍රතිලාභ පනතේ විධිවිධාන අනුව සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයක් පිළියෙල කොට ක්‍රියාත්මක කිරීම
- 2002 අංක 24 දරන සුබසාධන ප්‍රතිලාභ පනතේ විධිවිධාන ප්‍රකාරව සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සම්බන්ධයෙන් අදාළ වන කාලසීමාව, යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභ ලබන්නන්ගේ මුළු සංඛ්‍යාව, ක්‍රියාත්මක කිරීම ආරම්භ වන දිනය, යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට වැය වන පිරිවැය යන කරුණු නිශ්චිතව සඳහන් කර ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව, ගැසට් පත්‍රයේ පළ කර අදාළ ප්‍රතිලාභ දීමනා ගෙවීමට පෙර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතුව ඇත. ඒ අනුව, ක්‍රියාත්මක කළ යුතු සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයක් පිළියෙල කිරීමට මාර්ගෝපදේශ ලබා ගැනීම සඳහා විෂය ප්‍රාමාණිකයන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් ජනාධිපති ලේකම් විසින් පත් කර තිබේ. එකී තාක්ෂණික කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් කරුණු ද සැලකිල්ලට ගෙන, දරිද්‍රතා පරතරය මත පදනම්ව සංක්‍රාන්තික, අවදානමට ලක් වූ, දුප්පත් සහ අන්ත දිළිඳු සමාජ කණ්ඩායම් සඳහා සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එසේම, දැනට ප්‍රතිලාභ ලබන වෙනස් හැකියාවන් සහිත තැනැත්තන්, හඳුනානොගත් හේතූන් මත වූ වකුගඩු රෝගීන් සහ වැඩිහිටි තැනැත්තන් හඳුනාගෙන එම පුද්ගලයින් සඳහා වෙනම ප්‍රතිලාභ යෝජනා ක්‍රමයන් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව, යෝජිත සුබසාධන ප්‍රතිලාභ ක්‍රමයන් 2023-07-01 දින සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන අතර, ඒ සඳහා වැය වන මුළු වියදම වර්ෂයකට රුපියල් බිලියන 206ක් පමණ වන බවට ගණනය කර තිබේ. ඒ අනුව, යෝජිත සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමයන් ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.