• Increase font size
  • Default font size
  • Decrease font size

2023-03-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථාවේ හවුල් ව්‍යාපාර සමාගමක් විසින් ත්‍රිකුණාමලයේ සාම්පූර්හි සූර්ය විදුලි බලාගාරයක් ස්ථාපිත කිරීම
- මීට පෙර සාම්පූර් ගල්අඟුරු විදුලි බලාගාරය ඉදි කිරීමට සැලසුම් කර තිබූ ස්ථානයේම මෙගාවොට් 135ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් අදියර 02කින් ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය එකඟතාවකට පැමිණ ඇත. මෙම ව්‍යාපෘතියේ 01 අදියර යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 42.5ක සම්පූර්ණ ආයෝජනයකින් මෙගාවොට් 50ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 23.6ක ඇස්තමේන්තුගත වියදමකින් සාම්පූර් සිට කප්පල්තුරේ දක්වා කිලෝමීටර 40ක දිගකින් යුත් කිලෝවෝල්ට් 220ක සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදිකිරීමට අපේක්ෂිත ය. මෙම අදියර 2024 සිට 2025 දක්වා වසර 2කින් නිම කිරීමට නියමිත වේ. ව්‍යාපෘතියෙහි අදියර 02දී ඇමෙරිකානු ඩොලර් මිලියන 72ක සම්පූර්ණ ආයෝජනයක් යටතේ අතිරේක මොගවොට් 85ක ධාරිතාවකින් යුත් සූර්ය විදුලි බලාගාරයක් ඉදි කිරීමට නියමිතය. එසේම, එම අදියර 02 යටතේ ජනනය කරනු ලබන විදුලිය බෙදා හැරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 42ක ඇස්තමේන්තුගත වියදමින් කප්පල්තුරේ සිට නව හබරණ දක්වා කිලෝවෝල්ට් 220ක ධාරිතාවක් සහිත කිලෝමීටර 76ක දිගින් යුත් සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදිකිරීමට ද සැලසුම් කර ඇත. ඒ අනුව, එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.