• Increase font size
  • Default font size
  • Decrease font size

2023-03-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සීමාසහිත ජාතික ව්‍යාපාර කළමණාකාරිත්ව විද්‍යායතනය (NSBM) ඇපයෙන් සීමිත සමාගමක් බවට පරිවර්තනය කිරීම
- 1976 අංක 23 දරන ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව ආයතන පනතේ විධිවිධාන පරිදි ස්ථාපිත කර ඇති ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව ආයතනයට (NIBM) අයත් පාලිත සමාගමක් වශයෙන් සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය (NSBM) ස්ථාපිත කරනු ලැබ ඇත. නවීන පන්නයේ විශ්වවිද්‍යාලයක් වශයෙන් හෝමාගම ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති එම විද්‍යායතනය මේ වන විට උපාධි සහ පශ්චාත් උපාධි ලබා දෙන ආයතනයක් වශයෙන් පවත්වාගෙන යනු ලබයි. දැනට එම ආයතනය තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 11,500කට වැඩි ප්‍රමාණයකට පීඨ 05ක් යටතේ උපාධි පාඨමාලා 50කට වැඩි ප්‍රමාණයක අධ්‍යයන කටයුතුවල නිරත වීම සඳහා අවස්ථාව සැලසී ඇත. ලෝකයේ ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියෙන් පවතින අධ්‍යාපන ආයතනවල ව්‍යූහයන්ට සමාන ව්‍යුහයක් අනුගමනය කිරීම මඟින් NSBM ආයතනයේ කටයුතු වඩාත් ඵලදායී අයුරින් මෙන්ම අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව පවත්වාගෙන යාමට හැකි වනු ඇති බව පෙනී ගොස් තිබේ. ඒ අනුව, අවශ්‍ය ව්‍යූහාත්මක වෙනස්කම් සිදු කිරීමට හැකි වන පරිදි 2007 අංක 07 දරන සමාගම් පනතේ 32 වන වගන්තියේ විධිවිධාන අනුව NSBM ආයතනයේ ලියාපදිංචි තත්ත්වය ඇපයෙන් සීමිත සමාගමක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.