• Increase font size
  • Default font size
  • Decrease font size

2023-03-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ වරප්‍රසාද සහ විනිර්මුක්තීන් පිළිබඳ ගිවිසුම ප්‍රතිග්‍රහණය කිරීම
- ශ්‍රී ලංකාව, 1957 වර්ෂයේ සිට ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ ආරම්භක සාමාජික රාජ්‍යයක් වශයෙන් කටයුතු කරන අතර, එම ආයතනයේ තාක්ෂණික සහයෝගිතා වැඩසටහන යටතේ වෛද්‍ය, කර්මාන්ත, ආරක්ෂක, ආහාර, කෘෂිකර්ම, පරිසර සහ බලශක්ති සැලසුම්කරණය වැනි ක්ෂේත්‍රයන් සඳහා තාක්ෂණික සහාය ලබා ගනු ලබයි. එකී තාක්ෂණික සහායන් ලබා දීම පිණිස මෙරටට පැමිණෙන එම ආයතනයේ විශේෂඥයින්ට සහ අනෙකුත් නිලධාරින්ට විනිර්මුක්තීන් සහ වරප්‍රසාද ලබා දීම සඳහා වන එකඟතාවන්ට ශ්‍රී ලංකාව මෙතෙක් අත්සන් තබා නොමැත. ඒ අනුව, නීතිපති දෙපාර්තමේන්තුව, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය සහ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව විසින් එකඟවී ඇති පරිදි ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ වරප්‍රසාද සහ විනිර්මුක්තීන් පිළිබඳ ගිවිසුම ප්‍රතිග්‍රහණය කිරීමටත්, ඉන් අනතුරුව 1996 අංක 9 දරන රාජ්‍යතාන්ත්‍රික වරප්‍රසාද පනතේ විධිවිධාන පරිදි එකී ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කිරීමටත් විදේශ කටයුතු අමාත්‍යතුමා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.