• Increase font size
  • Default font size
  • Decrease font size

2023-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික දායකත්ව විශ්‍රාම අරමුදල ස්ථාපිත කිරීම
- රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයින්ට ඔවුන්ගේ විශ්‍රාම දිවිය සඳහා යම් ප්‍රතිලාභයක් සමඟ විශ්‍රාම වැටුපක් ලබා දීමටත්, විශ්‍රාමිකයාට රටට බරක් නොවී ඔහුගේ විශ්‍රාම දිවිය ගත කිරීමට සුදුසු පරිසරයක් සහතික කිරීමටත් හැකි වන පරිදි ජාතික දායකත්ව විශ්‍රාම අරමුදල නමින් අරමුදලක් ස්ථාපිත කිරීම යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, රාජ්‍ය සේවකයෙකු රාජ්‍ය සේවයට බැඳීමෙන් අනතුරුව ඔහුගේ මූලික වැටුපෙන් 8%ක් සහ සේවායෝජකයාගේ දායකත්වය වශයෙන් 12%ක් මාසිකව යෝජිත අරමුදලට බැර කළ යුතු වේ. යෝජිත දායකත්ව විශ්‍රාම අරමුදල කළමනාකරණය කිරීම පිණිස කළමනාකරණ මණ්ඩලය මඟින් පාලනය වන ස්වාධීන ආයතනයක් පිහිට වනු ලබන අතර අරමුදල් කළමනාකරණය සඳහා විශේෂ සුදුසුකම් සහිත අරමුදල් කළමනාකරුවෙකු පත් කරනු ලැබේ. යෝජිත ජාතික දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ඉදිරියේදී බඳවා ගනු ලබන රාජ්‍ය සේවකයින් සඳහා අදාළ වනු ඇත. එමෙන්ම, 2016 ජනවාරි මාසයෙන් පසු රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලද සේවකයින් රජය විසින් තීරණය කරනු ලබන විශ්‍රාම වැටුප් ක්‍රමයකට යටත් විය යුතු බවට වන විධිවිධාන ඔවුන්ගේ පත්වීම් ලිපිවල ඇතුළත් බැවින්, තම අභිමතය පරිදි යෝජිත ජාතික දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයට සම්බන්ධ වීමට ඔවුන්ට ද හැකි වනු ඇත. ඒ අනුව, අවශ්‍ය විධිවිධාන සැලසීමට හැකි වන අයුරින් පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.