• Increase font size
  • Default font size
  • Decrease font size

2023-02-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික සම්මාන පිරිනැමීම
- ශ්‍රී ලංකාව තුළ හා ඉන් පිටතදී විවිධ ක්ෂේත්‍රයන්වල සිදු කරන ලද සේවය ඇගයීම පිණිස ජාතික සම්මානයන් ප්‍රදානය කිරීම 1986 වර්ෂයේ සිට සිදු කරනු ලබයි. 1995 03 20 දිනැති ගැසට් නිවේදනය පරිදි ජනාධිපතිවරුන් විසින් ශ්‍රී ලාංකිකයින් සඳහා ශ්‍රී ලංකාභිමාන්‍ය, දේශමාන්‍ය, දේශබන්දු, විද්‍යාජෝති, කලාකීර්ති, ශ්‍රී ලංකා ශිඛාමනී, විද්‍යානිධි, කලාශූරී, ශ්‍රී ලංකා තිලක, වීරප්‍රතාප යනාදි වශයෙන් විධිමත් පටිපාටියකට අනුව සම්මාන පිරිනමනු ලබයි. එසේම 1990 09 12 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය අනුව ශ්‍රී ලංකා රංජන, ශ්‍රී ලංකා රත්න හා ශ්‍රී ලංකා රම්‍ය යන සම්මානයන් විදේශකයින් සඳහා ප්‍රදානය කරනු ලබයි. එමෙන්ම 2008 02 08 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය අනුව ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ සම්මානය ශ්‍රී ලාංකික ජනතාව කෙරෙහි දැක්වූ සහයෝගය අගයමින් ශ්‍රී ලංකාව සමඟ මිත්‍ර සබඳතා පවත්වන රාජ්‍යයන්හි රාජ්‍ය නායකයන්ට පිරිනමනු ලබන අතර මෙම සම්මානය ශ්‍රී ලාංකිකයින් නොවන පුද්ගලයින්ට පිරිනමනු ලබන ජාතික සම්මානවල විශිෂ්ටතා අනුපිළිවෙලෙහි ඉහළම ස්ථානය ගනු ලබයි. මේ වන විට එකී ජාතික සම්මානවල පුරප්පාඩු සැලකිය යුතු සංඛ්‍යාවක් පවතින අතර විධිමත් පටිපාටිය අනුගමනය කරමින් තෝරාගනු ලබන සුදුස්සන් වෙත එකී සම්මාන පීරිනැමිය යුතුව තිබේ. එසේම, එම සම්මානයන්ට අමතරව කලාව, සාහිත්‍යය, විද්‍යාව හා තාක්ෂණය යන ක්ෂේත්‍රවල උන්නතියට ලබා දුන් සේවය ඇගයීම සඳහා විශිෂ්ට කෞශල්‍යාභිමානී සම්මානයත් දේශය වෙනුවෙන් සිදු කරන ලද අති විශේෂ කැපවීම් ඇගයීම සඳහා විශිෂ්ට ජනරජ අභිමානි සම්මානයත් ශ්‍රී ලාංකිකයින්ට ප්‍රදානය කිරීමත්, එම සම්මාන ද්විත්වයට අනෙකුත් ජාතික සම්මානවල විශිෂ්ටතා අනුපිළිවෙලෙහි ඉහළම ස්ථානය ලබා දීමත් යෝග්‍ය බවට හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, අදාළ ගැසට් නිවේදනවල දක්වා ඇති පටිපාටීන්වලට අනුගතව අයදුම්පත් කැඳවා සම්මානලාභීන් තෝරාගැනීම පිණිසත්, අවිධිමත් ලෙස වෙනත් ආයතන මඟින් ජාතික සම්මාන පිරිනැමීම වැළැක්වීම පිණිස විධිවිධාන සලස්වමින් පාර්ලිමේන්තු පනතක් සම්මත කර ගැනීම පිණිසත් අදාළව ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.