• Increase font size
  • Default font size
  • Decrease font size

2023-02-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉන්දුනීසියානු ජනරජයේ ජාතික සෝදිසි කිරීමේ හා මුදා ගැනීමේ නියෝජිතායතනය හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය අතර අවබෝධතා ගිවිසුම
- ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ චිකාගෝ සම්මුතිය සඳහා අත්සන් තැබූ රාජ්‍යයක් වශයෙන් මෙරට ගුවන් අවකාශය ඔස්සේ පියාසර කරනු ලබන සියලුම ගුවන් යානා සඳහා ගුවන් සංතරණ සේවා/ගුවන් ගමන් සේවා, ගුවන් ගමන් වාර තොරතුරු සේවා සහ අනතුරු ඇඟවීමේ සේවා සැපයීමට බැඳී සිටින අතර, ඒ සඳහා වගකීම ද දරනු ලබයි. කොළඹ පියාසැරි තොරතුරු කලාපයේ ගිනිකොණ දිග සීමාව ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව හවුලේ භාවිත කරනු ලබන අසල්වැසි රාජ්‍යයන් වේ. එම කලාපයේ සෝදිසි කිරීමේ හා මුදා ගැනීමේ මෙහෙයුම්වල වගකීම් ශ්‍රී ලංකාව වෙත පැවරී ඇත. ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ චිකාගෝ සම්මුතිය පරිදි සෝදිසි කිරීම් හා මුදා ගැනීම් කටයුතුවල සහයෝගීතාව සහ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සඳහ‍‍ා ස්වකීය භූමි ප්‍රදේශවල සෝදිසි හා මුදා ගැනීම් ඒකකවලට ඇතුළු වීමේ කොන්දේසි සඳහන් කරමින් යාබද රාජ්‍යයන් විසින් අසල්වැසි රාජ්‍යයන් සමඟ ගිවිසුම්වලට එළඹීම අවශ්‍ය වේ. ඒ අනුව, ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන්සේවා අධිකාරිය සහ ඉන්දුනීසියානු ජනරජයේ ජාතික සෝදිසි කිරීමේ හා මුදා ගැනීමේ නියෝජිතායතනය අතර වසර 05ක කාලසීමාවක් සඳහා වන අවබෝධතා ගිවිසුමකට 2018 වර්ෂයේදී අත්සන් තබා ඇති අතර එකී කාලසීමාව මේ වන විට අවසන් වී ඇත. දෙපාර්ශ්වය අතර සහයෝගීතාව තවදුරටත් පවත්වාගෙන යාමට හැකි වන පරිදි 2023 01 23 දින සිට එකී අවබෝධතා ගිවිසුම තවත් වසර 05ක කාලසීමාවක් සඳහා දීර්ඝ කිරීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.