• Increase font size
  • Default font size
  • Decrease font size

2023-02-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සෞදි අරාබි රාජ්‍යයේ තකාමෝල් සමාගම සහ ශ්‍රී ලංකාවේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව අතර නිපුණතා තහවුරු කිරීමේ වැඩසටහන සඳහා වන ගිවිසුම
- අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අදාළ පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධීකරණය වෙමින් විදේශ රටවල නිපුණතා තහවුරු කිරීමේ බලධාරින් සමඟ සාකච්ඡා කර ශ්‍රී ලාංකික නිපුණතා ශ්‍රමිකයින්ගේ සුදුසුකම්, විදේශ රටවල් සමඟ සමාන කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනු ලබයි. එමඟින්, මෙරට විගමනික ශ්‍රමිකයින්ට ඉහළ වටිනාකමකින්, ගෞරවයකින් හා වැඩි ආර්ථික ප්‍රතිලාභ සහිතව විදේශ රැකියාවන් සඳහා සම්බන්ධ වීමට ඉඩකඩ සලසා ගැනීමට හැකියාව ඇති වනු ඇත. ඒ අනුව, සෞදි අරාබි රාජ්‍යයේ මානව සම්පත් සහ සමාජ සංවර්ධන අමාත්‍යාංශය යටතේ රජයට අයත් ව්‍යාපාර සේවාවන් සඳහා වන තකාමෝල් සමාගම සහ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව අතර ගිවිසුමකට එළඹීමට යෝජනා වී ඇත. ඒ සඳහා කෙටුම්පත් කරනු ලැබු ගිවිසුම සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ එකඟතාව ලැබී තිබේ. ඒ අනුව, අදාළ ගිවිසුමට අත්සන් තැබීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.