• Increase font size
  • Default font size
  • Decrease font size

2023-01-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට සහාය දීමේ හා ආරක්ෂා කිරීමේ දිනයක් ප්‍රකාශයට පත් කිරීම
- අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ගේ අයිතිවාසිකම් හා හිමිකම් හඳුනාගැනීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් ඇති කිරීම පිණිස 2015 අංක 4 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්හට සහාය දීමේ හා ආරක්ෂා කිරීමේ පනත හඳුන්වා දී ඇත. ඒ අනුව, අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය ස්ථාපිත කර තිබේ. ශ්‍රී ලංකාව තුළ දිනෙන් දින ඉහළ යන අපරාධ හේතුවෙන් වින්දිතභාවයට පත් වන කාන්තාවන්, ළමුන් ඇතුළු පුද්ගලයින්ගේ සංඛ්‍යාව සැලකිල්ලට ගෙන, අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම පිළිබඳව සමාජය දැනුම්වත් කිරීමේ අරමුණින් මෙන්ම ඒ සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන සහ නිලධාරින් සංවේදීකරණයට ලක් කිරීම අරමුණු කර ගනිමින් අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට සහාය දීමේ හා ආරක්ෂා කිරීමේ දිනයක් ප්‍රකාශයට පත් කිරීම යෝග්‍ය බවට හඳුනාගෙන ඇත. ඒ අනුව, 2015 අංක 4 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්හට සහාය දීමේ හා ආරක්ෂා කිරීමේ පනත නීතිගත කරන ලද මාර්තු මස 07 දිනය “අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන්හට සහාය දීමේ හා ආරක්ෂා කිරීමේ දිනය” වශයෙන් ප්‍රකාශයට පත් කිරීම පිණිස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.