• Increase font size
  • Default font size
  • Decrease font size

2023-01-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා බදුකරණ ආයතනයේ නාමය ශ්‍රී ලංකා වරලත් බදුකරණ ආයතනය වශයෙන් සංශෝධනය කිරීම
- ශ්‍රී ලංකා බදුකරණ ආයතනය, 2000 අංක 21 දරන ශ්‍රී ලංකා බදුකරණ කාර්යායතනය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත මඟින් ස්ථාපිත කරන ලද ආයතනයකි. එම ආයතනය විසින් පාඨමාලා පැවැත්වීම මඟින් මහජනතාවට බදු අධ්‍යාපනය ලබා දෙන අතර, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත යටතේ බදු උපදේශකවරුන්, බලයලත් නියෝජිතවරුන් හා බලයලත් ඒජන්තවරුන් ලෙස ක්‍රියා කිරීමට බලය ලබා දෙමින් බදුකරණය සම්බන්ධ වෘත්තිකයන්ට සාමාජිකත්වය ලබා දෙනු ලබයි. එම ආයතනයේ නාමය ශ්‍රී ලංකා වරලත් බදුකරණ ආයතනය වශයෙන් සංශෝධනය කිරීම පිණිස පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මධුර විතාන මහතා විසින් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ති‍බේ. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6)හි විධිවිධාන පරිදි අදාළ පනත් කෙටුම්පත නිර්දේශ කරමින් පාර්ලිමේන්තුව වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.