• Increase font size
  • Default font size
  • Decrease font size

2023-01-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2023 විදුලි ගාස්තු සංශෝධනය සඳහා වූ යෝජනාව
- මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා සහ විදුලිබල හා බලශක්ති ඇමතිතුමා විසින් විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලන ලදී. පවතින මූල්‍ය අවකාශය තුළ ලංකා විදුලිබල මණ්ඩලය සඳහා අවශ්‍ය අරමුදල් සලසා දීමට මහා භාණ්ඩාගාරයට හැකියාවක් නොමැති බවත්, එබැවින් රට තුළ අඛණ්ඩ විදුලිබල සැපයුමක් සහතික කිරීම සඳහා සහ විදුලි පාරිභෝගිකයින් වෙත සිදු වන බලපෑම හැකිතාක් දුරට අවම කර ගනිමින් විදුලිය සැපයීම සඳහා වැය වන පිරිවැය පමණක් ආවරණය කර ගැනීම සඳහා දැනට පවතින විදුලි ගාස්තු සංශෝධනය කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවත් අමාත්‍ය මණ්ඩලය වැඩිදුරටත් සැලකිල්ලට ගන්නා ලදී. ඒ අනුව, පහත සඳහන් පරිදි කටයුතු කිරීම පිණිස අනුමැතිය ලබා දීමට තීරණය කරන ලදී:

* ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අදාළ පාර්ශ්වයන් විමසමින් තවදුරටත් අධ්‍යයනය කර කිසියම් සංශෝධනයක් කළ යුතු වන්නේ නම්, 2023 02 15 දින හෝ ඊට පෙර එකී සංශෝධනයන් ඉදිරිපත් කිරීම.

* එතෙක්, විදුලිබල කර්මාන්තය සම්බන්ධයෙන් දැනට බලාත්මක පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ සංශෝධනයන්ට අනුව අන්තර්කාලීන පියවරක් වශයෙන්, 2023 01 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජිත විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව එක්ව අවශ්‍ය පියවර ගැනීම.

* ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් සංශෝධන කිසිවක් ඉදිරිපත් කරනු ලැබුවහොත්, එකී සංශෝධනයන් ක්‍රියාත්මක කිරීම පිණිස ලංකා විදුලිබල මණ්ඩලය විසින් පියවර ගෙන ඉදිරි මාසික විදුලි බිල්පත් මඟින් අවශ්‍ය ගැළපීම් සිදු කිරීම.